රජයට බරක්වූ රාජ්‍ය ආයතන වසා දානවත් එක්කම මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසියි
බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති රාජ්‍ය ආයතන වසා දැමීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බලපිටියේ පැවති උත්සවයකදී පැවසීය.
සමහර රාජ්‍ය ආයතන රජයට බරක් වන බැවින් ඒවා පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බවත් ඒ මහතා සඳහන් කළේය.
“අපේ රටේ සමහර රාජ්‍ය ආයතන ජනතාවට කිසිදු සේවයක් සපයන්නේ නැහැ. ඇතැම් ආයතනවල සේවකයන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණයි. සමහර ආයතන බෝඩ් ලෑල්ලකට විතරයි සීමා වෙලා තියෙන්නේ. ජනතාවට සේවයක් නොකරන, බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වූ රාජ්‍ය ආයතන වසා දැමීමට තීරණය කළා. ඒ වගේම, ඇතැම් ආයතන ඒකාබද්ධ කිරීමටත් පියවර ගන්නවා”
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද අහෝසි කිරීමට මේ දිනවල නීති සම්පාදනය කරගෙන යන බවද මෙම නීති අතීතයටද බලපාන පරිදි ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය. දේශපාලනඥයන් ජීවත් කරවීම ජනතාවගේ වගකීමක් නොවන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම තීරණය මගින් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, මහජන මුදල් අවභාවිත වීම වැළැක්වීමටත් අපේක්ෂා කරන නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජනබලවේගය පක්ෂය විපක්ෂයේ සිටියදී අනුගමනය කළේ මීට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් බව දේශපාලන විචාරකයන් පවසයි.