ආයෙත් තත්ත්වය භයානක වෙයි ජල ගැලීම් නිසා රට පුරා මාර්ග අවහිරයි - විශේෂ නිවේදනයක්
අද (19) දින උදෑසන 6න් අවසන් වුණු ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය උඩුදුම්බර ප්‍රදේශයට ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත. ඒ අනුව ගෙවුණු පැය 24 තුළ උඩුදුම්බර ප්‍රදේශයට මිලිමීටර් 201ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
එසේම දෙවනියට වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ උඩුදුම්බර පොත්තපිටියට වන අතර එය වාර්තා වී ඇත්තේ මිලිමීටර් 155ක වර්ෂාපතනයක් ලෙසින්.
මේ අතර අද උදෑසන 6ට නිකුත් කළ නිවේදනයේ ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමමින් ඇති බවද සඳහන්.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව, මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය වාන් දමමින් ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ද වාන් දමමින් ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර කලාවැවේ වාන් දොරටු දෙක අඩි 6 බැගින් විවෘත කර ඇත.
රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 5 බැගින් සහ තවත් වාන් දොරටු 2ක් අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
නාච්චාදූවේ වාන් දොරටු 4ක් අඩි 4 බැගින් සහ තවත් වාන් දොරටු 3ක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා.
අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇති බවද වාර්තා වේ.
මේ අතර පස් කණ්ඩි කඩාවැටීම් ඇතුළු සිදුවීම් නිසා බදුල්ල, මාතලේ, කිලිනොච්චිය, කෑගල්ල, අනුරාධපුරයේ මාර්ගවල ඇතැම් ස්ථාන සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ පෙන්වා දී ඇත.
එසේම පොළොන්නරුවේ සුංගාවිල - සෝමාවතිය මාර්ගය ජලගැලීම් හේතුවෙන් අවහිර වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.