මාමාගේ වෙඩි පහරින් බෑණා මරුට
අද අලුයම ගලෙන්බිඳුනුවැව පොලිස්වසමට අයත් ඉහළගම ප්‍රදේශයේදී සිදු වූ වායු රයිෆල් වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 57ක් වූ, වැඩ තහනමකට ලක් වූ පොලිස් නිළධාරියෙකි.මෙම සිද්ධිය සිදු වී ඇත්තේ එම පුද්ගලයාගේ බිරිඳගේ පියාගේ නිවසේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදු වූ බව පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා බිරිඳගේ පියා සමඟ ආරවුලක් ඇති කර ඔහුට කැත්තකින් පහරදීමට තැත් කළ අවස්ථාවේදී, 77 හැවිරිදි බිරිඳගේ පියා නිවසේ තිබූ වායු රයිෆලයෙන් මෙලෙස වෙඩි තබා තිබේ.
අනතුරෙන් පසුව, මියගිය පුද්ගලයාගේ වැඩිමහල් පුත්‍රයා විසින් 1990 ගිලන් රථයක් භාවිතයෙන් ඔහුව ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
දේහය මේ වනවිට රෝහලේ තැන්පත් කර ඇත. කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් නලින් දිමුතු බංඩාර මහතා වෙඩි තැබීම සිදු වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදුකළේය.
77 හැවිරිදි පුද්ගලයා සහ වායු රයිෆලය පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධ ස්ථානීය පරීක්ෂණ අවසන් වූ පසු මියගිය පුද්ගලයාගේ දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යැවීමට නියමිතය.