පරිවාසගත දරුවන්ට ඉදිරියේදී කරන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පරිවාසගත කර සිටින දරුවන් පුනරුත්ථාපනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කරන බව සඳහන් කරයි.
ඇය මේ බව සඳහන් කළේ අද (14) දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති කාන්තා සහ ළමා අනුකමිටු රැස්වීමට සහභාගී වෙමින්.
කාන්තා හා ළමා විෂය ක්ෂේත්‍රයට අදාළ ගැටලු, තොරතුරු සහ අවශ්‍යතා දිස්ත්‍රික් මට්ටමින් සාකච්ඡා කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට සමගාමීව මෙම කාන්තා හා ළමා අනුකමිටු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයට පිහිටුවා ඇති බව ද එහිදී සඳහන් කළා.
එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවන් හා දරුවන් සම්බන්ධ සංඛ්‍යාත්මක දත්ත සහ වාර්තා සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් කරුණු විමසූ අමාත්‍යවරිය, දත්තවල පවතින අඩුපාඩු වහාම නිවැරදි කරන ලෙසත් අදාළ සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී සිටියා.
තවද දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරී පුරප්පාඩු පිළිබඳවද සමාලෝචනයක් සිදු කළ අතර, එම පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවද අමාත්‍යවරිය සඳහන් කළා.
එමෙන්ම දැනට පරිවාස භාරයේ සිටින දරුවන් අතරින් වෘත්තීය අධ්‍යාපනයට යොමු කළ හැකි දරුවන් පිළිබඳ වාර්තාවක් සකස් කර, රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් ඔවුන්ට නිපුණතා ලබාදී යළි සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස්වරියට අමාත්‍යවරිය උපදෙස් ලබා දී තිබෙනවා.
පරිවාසගත දරුවන් නැවත සමාජයට එක්වීමේදී ස්වාධීන, වගකීමෙන් යුතු පුරවැසියන් ලෙස ජීවිතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීම එම වැඩසටහනේ අරමුණයි.