වකුගඩු සැත්කමෙන් පසුව මියගිය දරුවා ගැන වෛද්‍යවරයා සාක්ෂි දෙයි
අද (31) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව 03 හැවිරිදි දරුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව එම රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු වන විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා සාක්ෂි ලබාදුනි.
අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ එම දරුවාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණය කැඳවනු ලැබු අවස්ථාවේදී වෛද්‍යවරයා විසින් මෙසේ සාක්ෂි ලබාදී තිබුණි.
බොරැල්ල පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා කියා සිටියේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළ තමා 2003 වසරේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සම්බන්ධ වූ බවය.
සාක්ෂිකාර වෛද්‍යවරයා සඳහන් කර තිබුණේ, මෙම මියගිය දරුවා තමා හමුවට මුලින්ම පැමිණියේ 2021 වසරේදී පමණ බවත් උදරයේ ඉදිමුමක් තිබූ හෙයින් වෙනත් වෛද්‍යවරයෙකු විසින් මෙම දරුවා තමන් වෙත යොමුකර තිබූ බවත්ය.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී මෙම දරුවා ව තමන් පරීක්ෂා කළ අතර පසුව කොළඹ රිජ්වේ ළමා රෝහලේ සායන සඳහා යොමු කෙරුණු බවත් මෙම දරුවා පරීක්ෂණ මාලාවකට ලක් කෙරුණු බවද වෛද්‍යවරයා පැවසීය.
එම පරීක්ෂණවලදී අනාවරණය කරගත් කරුණු ද මෙහි දී සාක්ෂි දෙමින් වෛද්‍යවරයා සඳහන් කර සිටියේය.වෛද්‍යවරයා සඳහන් කළේ, එම පරීක්ෂණ වාර්තාවට අනුව දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය ඉතා දුර්වල මට්ටමක පැවති බවයි.
වෛද්‍යවරයා සාක්ෂි දෙමින් සඳහන් කර සිටියේ, එය සියයට 09 දක්වා අඩු මට්ටමක පැවති අතර දරුවාගේ දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට 91 ක් වූ බවත් එම දකුණු වකුගඩුව යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වූ බවත්ය.
වැඩිදුරටත් වෛද්‍යවරයා සාක්ෂි දෙමින් කියා සිටියේ මෙම දරුවාගේ වකුගඩු නියමිත ස්ථානයේ පිහිටා තිබූ බව වාර්තා පිරික්සීමේදී අනාවරණය වන බවය.
ඉන් අනතුරුව මෙම වෛද්‍යවරයාගේ වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම සැප්තැම්බර් මස 05 වනදා දක්වා කල් දැමුණි.
