මානව වර්ගයා සංවර්ධනය වෙනකොට වන ඝනත්වය අඩු වී ගෙන යනවා

sri lanka world development nimal lansa deforestation
By Sewvandhi Apr 18, 2021 01:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාර්ග සංවර්ධනයත් එක්ක රටේ වන ආවරණය වැඩි කරන්න යම් වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව මාර්ග සංවර්ධනයට සමගාමීව ‘සුරැකුමට පරිසරය’ තේමාව යටතේ පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කළ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ රාගම දියගල ළමා ගම්මානයේ පැළ සිටුවීමේ වැඩසටහනට සහභාගී වෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, ලෝකයේ ජන ගහනය වැඩි වෙන්න වැඩිවෙන්න, මානව වර්ගයා සංවර්ධනය වෙනකොට වන ඝනත්වය අඩු වී ගෙන යනවා. අපේ රටේ වගේම ලෝකයේ අනෙකුත් රටවල් වල 1900 ට පෙර හා වර්තමානය බලනකොට වන ඝනත්වය එන්න එන්න විශාල ලෙස අඩුවෙලා තියෙනවා. මේක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා අපිට විතරක් නෙමේ අනාගත පරපුරට මේ වන ඝනත්වය වැඩි කරලා දෙනවනම් ඒක ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් වෙනවා.

අපි ඉන්න කාලේ ගස් කපලා දාලා, පරිසරයට හානි කරලා, ජෛව විවිධත්වයට හානි කරලා, අපේ කලපු වලට හානි කරලා, මුහුදු තීරයට හානි කරලා පරිසරය විනාශ කරලා දැම්මොත් මතු පරම්පරාවට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. එකේ ප්‍රතිඑල අද අපිට දකින්න පුලුවන්. ලෝකයේ උෂ්ණත්වය වැඩිවෙලා, පරිසර තුලිතතාවය අඩුවෙලා ඒ නිසා නියගයන්, ගංවතුර ආදී ප්‍රශ්න වලට මනුෂ්‍යය වර්ගයාට මුහුණ දෙන්න සිදු වෙලා. ඒ නිසා තමා විවිධ සංවිධාන, විවිධ රටවල් පරිසරය ආරක්ෂා කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. මේක පහසු ඉලක්කයක් නෙමේ. කටින් කියන්න පුලුවන් පැළ ලක්ෂ 20 ක් සිටුවනවා කියන එක.

හැබැයි සිටවන එක ලේසී නැහැ. අපි කල්පනා කළා මේ වැඩපිළිවෙල කොහොමද සාර්ථක කරගන්නෙ කියලා. අද මේ ගහ සිටුවලා නඩත්තුවක් කළේ නැතිනම් මේ ගස් සිටුවන එකේ තේරුමක් නැහැ. යම් කාලයක් සංරක්ෂණය කරන්න ඕනේ. ඒ නිසා අපි වැඩසටහනක් හැදුවා. අපේ යටතේ තියෙන ආයතන මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැළ සිටුවීමට. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති වලට මුදල් ගෙවීමේදී පැළ සිටුවීම කොන්දේසියක් හා නීතීයක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. ඒ වගේම ඒ පැළය කොහෙද සිටුවලා තියෙන්නේ, පැළේ ප්‍රමාණය ඇතුලු සියලු දේ පිළිබදව නව තාක්ෂණය හරහා තොරතුරු රැස්කිරීමට කටයුතු කරනවා.

සමහර අය මේක දකිනකොට සුලු දෙයක් කියලා හිතන්න පුලුවන් හැබැයි සුලු දෙයක් හරි කිරීම නොකර සිටීමට වඩා හොදයි. ඒක තමා අපි ගත්ත ආදාර්ශ පාඨය. ඇතැම් අය වත්තේ තියෙන සියලු ගස් කපලා වෙන කෙනෙක් සංවර්ධන කාර්යයකට හරි වෙනත් කාර්යයකට ගහක් කපනවනම් ඒ ගහ කපපු එකට විරුද්ධව හඩ නගනවා. හැබැයි තමන්ගේ වත්තේ අක්කර ගණන් ගස් කපලා. ක්‍රියාවෙන් හා ආදර්ශයෙන් මේ පණිවුඩය ලබා දීම තමා අපේ අමාත්‍යාංශයේ අරමුණ. සංවර්ධන කාර්යයන් වලදී අපි එක ගහක්වත් කැපීමේ බලාපොරොත්තුවක් නැහැ. හැබැයි එක ගහක් කපන්න සිදු වුනොත් ඒ වෙනුවෙන් පැළ 10 ක් සිටුවන්න බලාපොරොත්තු වෙනවා. පැළ ලක්ෂ 20 ක් සිටුවනකොට සංවර්ධන කටයුතු වලට ගස් 1000 ක් වත් කපන්න සිදු වෙන එකක් නැහැ.

යහපත් දෙයක් කිරීම අපි සියලු දෙනාගේ වගකීම. සමහර අය තමන්ගෙ වගකීම හා යුතුකම ඉටු කරන්නේ නැහැ. අනුන්ගේ වගකීම් යුතුකම් ගැන කතා කරනවා, විවේචනය කරනවා. සමාජ ජාලා බලනකොට බුදු හාමුදුරුවන්ටත් බනිනවා, ජේසුස් වහන්සේටත් බනිනවා, අල්ලා දෙවියන්ටත් බනිනවා. කාටද බනින්නේ නැත්තේ. හිටපු ජනාධිපතිවරුන්ටත් බනිනවා, ඉන්න ජනාධිපතිටත් බනිනවා. ඉන්න නායකයෝ ඔක්කොටම බනිනවා. තමන්ට ඇර ඉන්න ඔක්කෝටම බනිනවා. එහෙම සමහර පිරිසක් සමාජයේ ඉන්නවා. අපේ රජය පරිසරයත් ආරක්ෂා කරගෙන රටත් සංවර්ධන ඉලක්ක කරා ගෙන යන තිරසර සංවර්ධන වැඩපිළිවෙලකට ගමන් කරනවා. අපේ පරිසරය, ජෛව විවිධත්වය, සතා සිවුපාවුන් ඇතුලු පරිසර පද්ධතිය ආරක්ෂා කර ගනිමින් පරිසර හිතකාමී වැඩපිළිවෙලක වත්මන් රජය ගමන් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය