අපරාධකරුවකුගේ ටැටූ එකක් ඇතුළේ මනෝවිද්‍යාත්මක කියවීමක් තියෙනවා
ලෝකයේ බොහෝ මිනිසුන් පද්ධතිය වෙනස් කිරීමට උත්සාහ කරනවා. මෙතැන වැරදියි, ඒතැන වැරදියි කියලා චෝදනා කරනවා.
නමුත් තමන් තමන්ගේ පැත්තට ආලෝකයක් යොමු කර බැලුවොත්, තමන් තුළ ඇති අවුල් ටික පෙනෙන්න පටන් ගන්නවා. හැමෝම තමන්ගේ පැත්තට පහනක් දල්වා බැලුවොත්, බොහෝ ගැටලු අපට ඉවත් කර ගන්න පුළුවන්. තමන්ගේ පැත්තට ආලෝකයක් නොදල්වා, එළියේ පරිසරයට පමණක් පහන් දල්වන තුරු, තමන්ගේ අඩුපාඩු තමන්ටම නොපෙනෙයි.
බොහෝ ස්ත්‍රී දූෂණ සිදුවීම් සමාජ මාධ්‍යවල වෛරල් වන්නේ ඒවා මරණයකින් අවසන් වූ විටයි. නමුත් මරණයකින් කෙළවර නොවූවත්, අතවර සිදු වූ සිදුවීම් ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේත් අතිමහත් සංඛ්‍යාවක් සිදු වෙනවා. මෑතකදී මට මෙවැනි සිදුවීමකට මුහුණ දුන් තරුණියක් හමු වුණා.
එම තරුණිය පිරිමි තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබුණා. නමුත් දිනක් එම තරුණයා ඇගේ බීම එකකට මත්ද්‍රව්‍යයක් මිශ්‍ර කර තිබුණා. එම අවස්ථාවේදී ඔහු ඡායාරූප ගෙන, ඒවා ඇයට පෙන්වමින් වරින් වර ඇයට අතවර කර තිබෙනවා. මෙවැනි සිදුවීම් බොහෝමයක් මාධ්‍යවල වාර්තා නොවුණත්, මේ ලෝකයේ සිදු වෙනවා. එහෙත් පසුගිය දිනක අනුරාධපුරයේ වෛද්‍යවරියකට සිදු වූ අපයෝජනය යම් හේතුවකින් වෛරල් වුණා.
මේ ලෝකයේ සෑම මිනිසෙකුටම ලිංගිකත්වය සම්බන්ධයෙන් තමන්ගේ කැමැත්ත පිළිබඳ යම් සැකැස්මක් තිබෙනවා. මනෝවිද්‍යාවේදී අපි නිතර කතා කරන මාතෘකාවක් තමයි මේ ලිංගික සැකැස්ම. ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවලින් වාර්තා වන සිදුවීම් දෙස බලන විට, මෙම සැකැස්ම හැදී ඇති ආකාරය අපට පැහැදිලි වෙනවා.
Trending News
මේ නිසාම ලිංගිකත්වය ගැන විධිමත් අධ්‍යාපනයක් නොමැති වෙනවා. අවිධිමත් ලෙස එම දේ ඉගෙන ගන්න ගිය විට, මිනිසුන්ගේ ලිංගික සැකැස්ම (sexual script) වෙනස් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට අපගමනය වූ ලිංගික චර්යාවන් පෙන්නුම් කරනවා.
එවැනි අවිධිමත් අවස්ථාවක් තමයි අසභ්‍ය වීඩියෝ නැරඹීමට පුරුදු වීම. අසභ්‍ය වීඩියෝ යනු තිර රචනයකට අනුව සිදු වන දෙයක්—නාට්‍යයක් වගේ. එහි ඇති දේ සත්‍යයක් යැයි සිතා, එය තමන්ගේ ලිංගික සැකැස්මට එකතු කර ගන්නවා. එම දේ තමන්ගේ සැකැස්මට ඇතුළත් කළ විට, අනෙකා මත ඒවා බලහත්කාරයෙන් යෙදීමට පෙළඹෙනවා. මේ ගැන පර්යේෂණයක් කළොත්, බොහෝ අසභ්‍ය වීඩියෝවල පරපීඩකත්වය (sadism) පවතින බව හඳුනා ගත හැකියි.
ඔබ සඳහන් කළ අනුරාධපුර සිදුවීමේ අපයෝජකයාගේ ‘අම්මා’ යනුවෙන් තිබූ ටැටූ එක ගැනත් කතා කළා. ටැටූ එකකත් මනෝවිද්‍යාත්මක පැතිකඩක් තිබෙනවා. එය තමන් තුළ ඇති අභ්‍යන්තර ප්‍රකාශනයක් එළියට දැමීමේ මාධ්‍යයක් ලෙස භාවිත වෙනවා. එහෙත් සමහරු රැල්ලට ටැටූ ගහනවා. සමහර විට එම අපයෝජකයා ‘අම්මා’ යන ටැටූ එක ගසා ඇත්තේ, තමන්ට නොලැබුණු මව් සෙනෙහසක් හේතුවෙන් විය හැකියි.
කෙසේ වෙතත්, පුද්ගලයෙකුට භාවාත්මක බුද්ධිය (emotional intelligence) ඉතා වැදගත්. එහිදී තමන්ගේ හැඟීම් පාලනය කර ගැනීමේ හැකියාවත්, අනෙකාට දැනෙන ආකාරය තේරුම් ගැනීමේ හැකියාවත් තිබෙනවා. එය අනෙකා ‘කියවීමේ’ හැකියාවක්.
කුඩා කාලයේදීම දරුවෙකුගේ හදවත හොඳින් හැදිය යුත්තේ ඒ නිසයි. හදවත හැදුණේ නැතිනම්, වෙන මොනවා හැදුණත් ප්‍රයෝජනයක් නැහැ. පුද්ගලයෙකුට තම හෘද සාක්ෂියට එරෙහිව බාහිරින් යමක් කළ නොහැකියි. සමහර දේ කරන විට අපටම හිතෙනවා, මම මේක කරන්නේ හදවතට එකඟව නෙවෙයි කියලා.
මේ හෘද සාක්ෂිය හැදෙන්නේ ඇගයීම්, ප්‍රතිමාන වැනි සදාචාරාත්මක වටිනාකම්වලින්. මේවා මිනිසුන්ට අවශ්‍ය වන්නේ, අපි හුදකලාව ජීවත් නොවන නිසා—අපි සමාජයක් තුළ, තවත් පිරිසක් සමඟ ජීවත් වන නිසා.
තමන් කරන දෙයින් තව කෙනෙකුගේ ජීවන රටාවට බාධාවක් වෙනවා නම්, එතැනදී ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා මේ ප්‍රතිමාන සහ ඇගයීම් හැදෙන්නේ පුද්ගලයෙකුගේ පවුල් පසුබිම ඉතා වැදගත් වන ආකාරයෙන්.
මේවා නැති වුණොත්, හෘද සාක්ෂිය කඩා බිඳ දමා, සමහර මිනිසුන් වැරදි කරනවා. කුඩා කාලයේ සිට දරුවෙකු සමාජයට අනුගත කිරීම වැදගත් වන්නේ ඒ නිසයි.
ඉන්දියාවේ පුද්ගලයෙකු ස්ත්‍රී දූෂණයකට වරදකරු වුණා. ඔහු තම වරද කාන්තාව පිට පටවනවා. ඔහු කියනවා, කාන්තාවන් රාත්‍රියට එළියට යාම හොඳ නැහැ කියලා.
එම දෘෂ්ටිකෝණය හැදී ඇත්තේත් ඔහුගේ පවුල් පසුබිම නිසා. එවැනි අත්දැකීම් ඔහුට තිබූ නිසා. එහි ඇත්තේ සමාජයට අනුගත නොවීමේ ගැටලුවක්. සමාජානුයෝජනය හැදෙන්නේ පාසලෙන් සහ නිවසෙන්. එම දෙකේ අඩුපාඩුවක් ඇති වුණොත්, හෘද සාක්ෂියක් නිර්මාණය වන්නේ නැහැ. එහි ප්‍රතිඵලය තමන්ට අවශ්‍ය දේ ඕනෑම වේලාවක එළියට දැමීමට ඉඩ සැලසීමයි
මිනිසුන්ගේ ලිංගික සැකැස්මවල ගැටලු තිබෙනවා. එහෙත් එවැනි ගැටලු තිබුණත්, ඒවා එළියට දමන විට, එයින් තව කෙනෙකුට හානියක් වේදැයි සැලකිලිමත් විය යුතුයි. සමාජානුයෝජනය නොවීම බරපතළ ගැටලුවක්. එය පසුගිය දිනක අනුරාධපුර ස්ත්‍රී දූෂණ සිදුවීමෙන්ද පෙන්නුම් කළා.
මුලින්ම තමන් තමන්ව හඳුනා ගත යුතුයි.
තමන්ගේ ලිංගික සැකැස්ම තුළ ඇත්තේ අපගමනය වූ චර්යාවන්ද, නැතිනම් සාමාන්‍ය චර්යාවන්ද යන්න හඳුනා ගත යුතුයි. ඒ නිසාම ලිංගික අධ්‍යාපනය පාසල් කාලයේදීම අවශ්‍ය වෙනවා. මන්ද, පුද්ගලයෙකුගේ ලිංගික සැකැස්ම නිවැරදිව හැදිය යුත්තේ කුඩා කාලයේ සිටමයි. ලිංගිකත්වය යනු ජීව විද්‍යාත්මක උත්තේජනයක්.
අසභ්‍ය වීඩියෝ එම උත්තේජනය තවත් වැඩි කරනවා. කණ්ඩායමක් එකතු වී එවැනි දෙයකට යොමු වන විට, සමහර විට එය කණ්ඩායමේ ඒකමතික තීරණයක් නොවිය හැකියි.
සමහර අවස්ථාවලදී, කණ්ඩායමේ එක් අයෙකුගේ හෝ දෙදෙනෙකුගේ කැමැත්තට අනෙක් අය යටත් විය යුතු වෙනවා. කණ්ඩායමක සිටින අයට අවිධිමත් ලිංගික සැකැස්මක් තිබේ නම්, එවිට කණ්ඩායම් චින්තනය තුළ හැදෙන්නේ ඉතා අවුල් සහගත, විෂම ලිංගික සැකැස්මක්. එහි ප්‍රතිඵලයක් ලෙස, අකමැති අයෙකු වුවත්, ඒ දෙසට නැඹුරු වෙනවා.
