ශිරාන් බාසික්ට වහාම ආරක්ෂාව දෙන්න - අධිකරණයෙන් විශේෂ නියෝගක්
මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන "ශිරාන් බාසික්" නමැති සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
නාරාහේන්පිට පොලීසියට ආසන්නව පිහිටි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා සිටින තම සේවාදායකයාට නිසි ආරක්ෂාවක් නොමැති බවට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වසන්ත පිටිගල මහතා අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරුව සෑම දිනකම උදෑසන නාරාහේන්පිට පොලීසියේ සිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පයින් කැඳවාගෙන යන බවත්, එමඟින් ඔහුගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකාර ශිරාන් බාසික්ට අවශ්‍ය නිසි ආරක්ෂාව සලසන ලෙසට නාරාහේන්පිට පොලීසියට සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.