ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එන නව පනතට අනුමැතිය
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පවතින අඩුපාඩු මගහරවා ගනිමින් නව නීතියක් හඳුන්වා දීම සඳහා සකස් කරන ලද 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
පවතින පනත වෙනුවට නව පනතක් සකස් කිරීම සඳහා පත්කළ තාක්ෂණික විශේෂඥ කමිටුව විසින් සකස් කරන ලද මූලික කෙටුම්පත පදනම් කරගනිමින්, නව පනතක් හඳුන්වා දීමට 2026 අගෝස්තු 10 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිවිය.
නීති කෙටුම්පත් සම්පාදකවරයා සකස් කළ මෙම පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී තිබේ.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් නියමිතය.