මීට පස්සේ සීගිරිය, පිදුරංගල, කොළඹ සහ වරාය නගරය ආශ්‍රිතව සංචාරය කරන අයට අහසින් යන්න අලුත් සේවාවක්
සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් ශ්‍රී ලංකාව තුළ මඟී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී පවත්වා ඇත.
විෂයභාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට චීනයේ EHang සමාගමේ නියෝජිතයන් ඇතුළු අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ බව සඳහන්.
එමෙන්ම මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙන්නේ අඳාළ සේවාව සංචාරක කර්මාන්තයට අමතරව හදිසි ආපදා සේවා සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සඳහා ද යොදාගැනීමට හැකියාව පවතින බවයි.
මේ අතර EHang සමාගමේ නියෝජිතයන් විසින් eVTOL වශයෙන් හැඳින්වෙන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සිරස්ව ගුවන්ගත හා ගොඩබැස්සවිය හැකි යානා පිළිබඳවද කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
මඟීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි මෙම යානා ප්‍රචාලන පංකා 16කින් සමන්විත වන අතර, AI තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රීයව පාලනය කළ හැකි බව වාර්තා වේ.
කෙසේ වුවද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙන්නේ වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ගුවන් ආරක්ෂාව, නියාමන රාමුව, ගුවන් මාර්ග පාලනය, හදිසි මෙහෙයුම්, සයිබර් හා දත්ත ආරක්ෂාව මෙන්ම ගොඩබැස්සවීමේ ස්ථාන ඇතුළු කරුණු සම්බන්ධයෙන් අදාළ සියලු අනුමැතීන් ලබාගැනීම අනිවාර්ය බවයි.
එමෙන්ම මෙම සේවාව සීගිරිය, පිදුරංගල, කොළඹ නගරය සහ වරාය නගරය ආශ්‍රිතව සංචාරකයන් සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී අවධානය යොමු විය. එසේම වරාය නගරය තුළ මෙම යානා සඳහා ආදර්ශ කලාපයක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳවද අදහස් හුවමාරු වී ඇත.