මරා දැමුණු සියලුම මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න විශේෂ කොමිසමක් ඉල්ලයි [PHOTOS]

Report

ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය සදහා ස්ථාපිත කළ ස්මාරකයක් කිලිනොච්චි රීචා ඒකාබද්ධ ගොවිපලේදී ඉකුත් 14 වන දින විවෘත කෙරුණි.

එහිදී මාධ්‍ය ක්ෂේත්‍රයට දායක වූ මාධ්‍යවේදීන් 16 දෙනෙකුගේ ප්‍රතිමා නිරාවරණය කිරීම සහ අනුස්මරණය කිරීමේ ශාලාවක් විවෘත කිරීමද සිදු විය.

එම අවස්ථාව සඳහා උතුරු නැගෙනහිර මාධ්‍යවේදින් මෙන්ම කොළඹ මාධ්‍යවේදින් කණ්ඩායමක් ද සම්බන්ධ වී සිටියා.

එහිදී ජනමාධ්‍ය සාමුහිකයේ සභාපති මාධ්‍යවේදි තිලිණ අලහකෝන් මහතා අදහස් පළ කරමින් සඳහන් කළේ රජයෙන් මරා දැමුණු සියලුම මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට බලතල සහිත විශේෂ කොමිසමක් පත් කිරීමට ඉල්ලීමක් කර ඇති බවයි.

එසේම මේ සඳහා සියලුම මාධ්‍යවේදීන්ට එකව කටයුතු කිරීමට ද ඔහු ආරාධනා කර සිටියා.

" අපිට බැරි වෙලා තියනවා අවුරුදු ගණනාවක් ගිහිල්ලත් ලසන්ත වික්‍රමතුංගට තාම හරි යුක්තියක් ඉටු කරන්න. ලසන්ත වික්‍රමතුංගට එහෙම නම් අපි වගේ මාධ්‍යවේදීන්ට මොනවා වෙයිද? ලසන්ත වික්‍රමතුංගව මහමග මරණවා. මරන්නේ අර මාළුන්ට අනින උල්වලින් ඇනලා. මැරුවට පස්සෙ ඔහුගේ ඝාතනය සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවනවා වෛද්‍ය පරීක්ෂණයේදී ඔහුට වෙඩි තියලා මැරුවයි කියලා. සම්පූර්ණ ඝාතනය කරලා ඔහුව මරපු විදිහ පවා වෙනස් කරලා ඔහුගේ නෝට් බුක් හංගලා, ඔහුව ඝාතනය කරපු හමුදාවෙ බයිසිකල් පවා හංගලා ඒ බයිසිකල් වෙනුවට උතුරු නැගෙනහිර අහිංසක මනුස්සයෙක්ගේ බයිසිකලයක් දාලා ඒක එල්ටීටී එක කරපු ඝාතනයක් කියලා හඳුන්වන්න උත්සාහ කරනවා. මේක සම්පූර්ණයෙන්ම ලසන්තගේ ඝාතනය කණපිට හරවන්න කරපු උත්සාහයක්. හැබැයි ඒක අද වෙනකොට සම්පූර්ණයෙන්ම ඔප්පු වෙලා තියෙනවා. ලසන්තගේ ඝාතනය සම්පූර්ණයෙන්ම වුණේ කොහොමද කියලා ඔප්පු වෙලා තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ අපේ රටේ ඉන්න ගොඩක් දේශපාලනඥයෝ විපක්ෂයේ ඉන්නකොට කිඹුල් කඳුළු හලනවා මාධ්‍යවේදීන් වෙනුවෙන්. හැබැයි ඔවුන් කවුරුත් ආණ්ඩුවක් ආවට පස්සේ මාධ්‍යවේදීන් වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පතේ කර්තෘවරයා විදිහට කටයුතු කරපු ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කරාට පස්සේ එක්සත් ජාතික පක්ෂේ ආණ්ඩු කීයක් ආවද? හැබැයි ඔවුන්ට බැරි වුණා ඔවුන්ගේ පක්ෂයේ කතුවරයා වෙනුවෙන්වත් යුක්තියක් ඉෂ්ට කරන්න. මේ මාධ්‍යවේදීන්ව දේශපාලනඥයෝ අතට අරගෙන හරියට හොද්ද රස කරන කරපිංචා ගාණට පාවිච්චි කරලා විසිකරන තැනට තමයි පත් කරලා තියෙන්නේ. එනිසා මාධ්‍ය සමාජයක් විදිහට අපි හැමෝම එකතුවෙලා උතුර නැගෙනහිර දකුණ බස්නාහිර කියලා අපි බෙදෙන්නේ නැතිව එකම මාධ්‍යවේදීන් විදිහට අපිට මේ සටන කරන්න පුළුවන්. අපි මේ ටිකේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්ති හදන එකත් එක්ක වැඩ කරනවා රජයේ. අපි එතැනදී ඉල්ලීමක් කරනවා බලතල සහිත විශේෂ කොමිසමක් පත්කරන්න මේ සියලුම මරා දැමුණු මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න කියලා ඒ සටනේ අපි ඉන්නවා"

මේ අතර ජන මාධ්‍ය වෙනුවෙන් සිදු කරන මෙහෙය අගය කරමින් මෙම ස්මාරකය විවෘත කිරිමේ අවස්ථාවට සම්බන්ධ වු සියළුම මාධ්‍යවෙිදින්ට සමරු සිහිවටනයක් පිරි නැමීම ද මෙහිදී සිදු විය.

ඒ ජනතාව වෙනුවෙන් ඔවුන් ඉටු කළ සේවය අගයමින් 'මාධ්‍යවේදී - ජාතියේ ආරක්ෂකයා' ජාතික සම්මානයයි.

මෙම අවස්ථාවට යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨාධිපති ආචාර්ය රඝුරාම්, අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. අරියනේතිරන් යන මහත්ම මහත්මීන් සහභාගී විය.