රාජ්‍ය සේවකයන්ට සහන ගෙනෙන අයවැය අදයි.
2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් 78වන අයවැය වාර්තාව අද (13) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට නියමිතයි.
අද දහවල් 12.00ට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2024 වසරට සඳහා වන රජයේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,860ක් වනවා.
2023 වසරේ එම වියදම දැක්වුණේ රුපියල් බිලියන 3,657ක් ලෙසයි.
පසුගිය වසරට සාපේක්ෂව 2024 වසර සඳහා වියදම රුපියල් බිලියන 203කින් ඉහළ ගොස් තිබෙනවා.
ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ ජනතාවට බලාපොරොත්තු තබා ගත හැක්කේ සාම්ප්‍රදායික අයවැයකට එහා ගිය නිර්මාණශීලි ප්‍රතිපත්ති මාලාවක් මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළොත් පමණක් බවයි.
එසේම ඉතිහාසයේ බරපතළම අභියෝගාත්මක අයවැය බවට මෙවර අයවැය පත්වනු ඇති බවට ද ඔවුන් පෙන්වා දෙනවා.
එසේම දාහතර ලක්ෂයක් පමණ වන රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම ලක්ෂ හයක් පමණ වන විශ්‍රාමිකයන්ගේ ද වැටුප් මෙවර අයවැයෙන් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට පසුගියදා දැනුම් දී තිබුණා.
මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසන්නේ රුපියල් දහසදහකින් පමණ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට නියමිත බවයි.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14වැනිදා) ආරම්භ කෙරෙන අතර එම විවාදය ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙනවා.
දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මෙම මස 21 වැනිදා සවස 6.00ට පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ කාරක සභා අවස්ථාවේ විවාදය 22 වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමටයි.
අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වැනිදා සවස 6.00ට පැවැත්වෙනවා.
