හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අල්ලස් කොමිසමෙන් අධි චෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර ඇති බව වාර්තා වේ.
අල්ලස් කොමිසම සඳහන් කරන්නේ, විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10ක් ඉදිරිපත් කර ඇති අතර, නඩුවට අදාළව සාක්ෂිකරුවන් 30 දෙනෙකුගේ නම් සහ ලේඛන 38ක් නඩු භාණ්ඩ ලෙස ඇතුළත් කර ඇති බවයි.
චෝදනා අනුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ, 2022 මැයි 09 වැනිදා සිදුවූ කලහකාරී සිදුවීම්වලදී හානියට පත්වීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, ඊට පටහැනිව වන්දි ලබා ගැනීම සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් එල්ල කළ බවට චෝදනා එල්ල වී තිබේ.
එම බලපෑම් මත රුපියල් මිලියන 8.85ක වන්දි මුදලක් ලබාගෙන ඇති බවත්, ඒ තුළින් දූෂණය යන වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අල්ලස් කොමිසම පවසයි.
නඩුව සම්බන්ධයෙන් ඉදිරි විභාග කටයුතු කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතය.