කාබනික පොහොර සාම්පල් ප්‍රතික්ෂේප වීම ගැන චීන සමාගමෙන් අමුතු ප්‍රතිචාරයක්

China Bacteria fertilzer
By Sithumi Oct 09, 2021 02:06 PM GMT
Sithumi

Sithumi

Report

චීන සමාගමින් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්‍රජීවීන් අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවූවක් බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්‍රජීවීන් අවස්ථා දෙකකදී හඳුනාගැනීමත් සමඟ චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කළේය. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මෙරට චීන තානාපති කාර්යාලය ඊයේ (08) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අදාළව පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒවා සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයක ජීවානුහරණය කිරීමේදී අහිතකර ක්ෂුදු ජීවි විශේෂ අධික උෂ්ණත්වය යටතේ සම්පූර්ණයෙන් විනාශවන බවය.

කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමේදී කාබනික පොහොර සාම්පලවල අර්වීනියා ඇතුළු අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව දින තුනක් තුළ සිදුකළ පරීක්ෂණ හා විශ්ලේෂණ තුළින් හඳුනාගෙන ඇති බව පළවූ ප්‍රවෘත්ති වාර්තාවල දැක්වුණු නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතියට අනුව අර්වීනියා බැක්ටීරියාව හඳුනාගැනීමට අවම දින 6ක කාලයක් ගත වන බවත් ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවූවක් බව චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාවේ වාර්තාව මත පදනම්ව සීවින් සමාගමේ කාබනික පොහොර ප්‍රතික්ෂේප කිරීමේ තීරණය තුළින් සමාගමට ප්‍රශ්න සහගත බවක් මෙන්ම විශාල මූල්‍යමය හානියක්ද සිදුවන බව එහි සඳහන් වේ. එම නිසා විද්‍යාත්මක කරුණු මත පදනම්ව කොන්ත්‍රාත්තුව ප්‍රකාරව දෙපාර්ශ්වය මේ සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡා කර වාසි සලසා ගනු ඇතැයි තානාපති කාර්යාලය අපේක්ෂා කරන බව එහි වැඩිදුරටත් සඳහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now