අල්ලස් කොමිසමෙන් ඇග හිරි වැටෙන වාර්තාවක් - ලොක්කෝ 51කට නඩු දාලා 41ක්ම රාජ්‍ය නිලධාරීන්
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් 2026 දී ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණයෙන් පුද්ගලයින් 51 දෙනෙකු චූදිතයින් බවට පත් කර ඇති බව වාර්තා කරයි.
එසේ චූදිතයින් බවට පත්වූවන් අතරින් 41 දෙනෙකුම රාජ්‍ය නිලධාරීන් වීම ද විශේෂත්වයක් වේ.
එමෙන්ම 2026 ජනවාරි මස 01 වැනි දින පටන් අප්‍රේල් මස 30 වැනි දින තෙක් වූ කාලය තුළ මෙම පිරිසට එරෙහිව නඩු ගොනු කර තිබෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මාසික ප්‍රගති වාර්තාව උපුටා දක්වමින් එම කොමිසම පවසයි.
එහි දැක්වෙන ආකාරයට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පුද්ගලයින් 03 දෙනෙකු සහ කොළඹ මහාධිකරණය මඟින් පුද්ගලයින් 48 දෙනෙකු ඇතුළුව සමස්ත පුද්ගලයින් 51 දෙනෙකු මෙසේ අධිකරණ හමුවේ චූදිතයින් බවට පත්ව තිබෙනවා.
තවද එම ප්‍රගති වාර්තාවට අනුව චූදිතයින් බවට පත් වූ රාජ්‍ය නිලධාරීන් අතර, පොලිස් දෙපාර්තමේන්තුව: නිලධාරීන් 14 දෙනෙක්, ජාතික රූපවාහිනී සංස්ථාව: නිලධාරීන් 04 දෙනෙක්, නාගරික සංවර්ධන අධිකාරිය: නිලධාරීන් 02 දෙනෙක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව: නිලධාරීන් 02ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය: නිලධාරීන් 02ක්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව: නිලධාරීන් 02ක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (අඩවි වන නිලධාරීන්) : නිලධාරීන් 02ක් ද ඇතුළත්.