5ස් දෙනෙකුට මරු කැද වූ හෙල්මට් නිෂ්පාදන කර්මාන්තශාලාවේ ගින්න ගැන සොයන්න වහාම විමර්ශනයක්

Report

හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ පිහිටි හෙල්මට් නිෂ්පාදන කර්මාන්තශාලාවක ඊයේ පෙරවරුවේ හටගත් හදිසි ගිනිගැනීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්වරියට උපදෙස් ලබාදී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙයට අමතරව පොලීසිය මඟින් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළේ මියගිය පුද්ගලයින්ගේ සිරුරු හඳුනාගත නොහැකි ලෙස දැවී අළු වී ඇති බවයි.

එම සිරුරු මේ වන විට හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, ගින්නෙන් නිකුත් වූ විස දුම ආඝ්‍රහණය වීමෙන් අසනීප වූ කාන්තාවක් ද එම රෝහලට ඇතුළත් කර තිබේ. ගින්නෙන් මියගිය පිරිස අතර එම කර්මාන්තශාලාවේ වසර 20ක පමණ කාලයක් වැඩ පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු සිටින අතර, මියගිය අනෙක් සිව්දෙනා මීට මාස කිහිපයකට පෙර එහි සේවයට පැමිණි අය බවට අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි මහතා ඊයේ පස්වරුවේ අදාළ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකළේය.