කොහුවල වෙඩි තැබීමේ මහ මොළකරුවන් 4ක් මාට්ටු
කොහුවල, බෝධියත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමට අදාලව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිස අතර යතුරුපැදියේ පැදිකරු, ගිනි අවිය භාරව කටයුතු කළ සැකකරු, ගිනි අවි ප්‍රවාහනය කළ සැකකරු හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබා දුන් සැකකරු වන බවයි සඳහන් වේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් කළුබෝවිල ප්‍රදේශයේදී කොටුකර ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇත.
සැකකරුවන් අවුරුදු 25, 28, 33 හා 45 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව අනාවරණය වේ. මෙම අපරාධය සංවිධානාත්මක අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් බවට අනාවරණය කරගෙන තිබේ.
වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 03 ක්, 09 mm වර්ගයේ ජීව පතරොම් 10 ක්, හෙරොයින් ග්‍රෑම් 50 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55 ක් හා අපරාධයට යොදා ගත් යතුරුපැදි 02 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
පසුගිය දෙසැම්බර් 30 වන දින කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබුණි.
එම වෙඩිතැබීමෙන් 16 හැවිරිදි ගැහැණු ළමයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණි. සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.