අද සිට ඇරඹෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - විභාගයට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් පැමිණිය යුතුයි
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) ඇරඹෙයි. ඒ අනුව එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතව ඇත.
එසේම මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.
විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි.
එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් බව දන්වයි.
තවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් විභාග වංචාවලින් වළකින ලෙසත්, පසුගිය වසරවල ද විභාග වංචා හේතුවෙන් සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදු වූ බවත් ය.
එමෙන්ම යම් හදිසි ආපදා තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.