යාස් සුළි කුණාටුව චණ්ඩ මාරුතයක් වෙයි(VIDEO)
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති යාස් සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පසුව එම පද්ධතිය උතුරට බරව වයඹ දිසාවට ගමන් කර හෙට (26) දිනයේ ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාලය වෙත ගමන් කිරීමට නියමිතයි. එහි බලපෑම් හේතුවෙන් අද (25) සහ හෙට (26) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
යාස් චන්ඩමාරුතය ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට විශාල හානියක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඉන්දීය කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ පැයට කිලෝමීටර් 155 ත් 185 ත් අතර වේගයක් සහිත චන්ඩමාරුතය අද (25) සවස් කාලයේදී ඉන්දීය වෙරළ තීරයෙන් රට තුලට ඇතුළු වනු ඇති බවයි. මේ අතර, නිරිත දිග මෝසම ස්ථාපිත වීම හේතුවෙන් ඉදිරි පැය 24 තුලදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, මධ්‍යම, උතුරු, උතුරුමැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි අතිවනවිට සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 05 කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක වලට යළි හෙට (26) පස්වරුව දක්වා නාය යෑම් අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
රත්නපුර - ගලේබොඩ ප්‍රදේශයට ඊයේ මිලිමීටර් 181.5 ක ඉහළ වර්ෂාපතනයක් ලැබුණු අතර, කෑගල්ල - දෙහිඕවිට ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 173.5ක්. රත්නපුර - වේවැල්වත්ත ප්‍රදේශයට මිලිමීටර් 157 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
එමෙන්ම, කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඉදිරි පැය 03 ක කාලය තුළ රත්නපුර, කුරුවිට, කිරිඇල්ල, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ ඇතුළු දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝවෙන් ගගන හිමිදිරිය නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |