ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
ගිනිකොණදිග අරාබි මුහුද ආශ්‍රිතව වර්ධනය වන පීඩන අවපාතය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද පස්වරු 3ටයි මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ.
එමගින් පෙන්වා දෙන්නේ ගිනිකොණදිග අරාබි මුහුද ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර අද (14) පෙරවරු 8.30 වන විට උතුරු අක්ෂාංශ 10.5ත් නැගෙනහිර දේශාංශ 72.3ත් ආසන්නව ස්ථානගතව පැවති බවයි. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුල ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් ලබන 18 වන දින උදෑසන ගුජරාටි සහ පකිස්ථාන වෙරළ තීරයට ඇතුල්වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
මෙමගින් දිවයිනේ කාලගුණය කෙරෙහි ඇති කරන බලපෑම හෙට දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. කෙසේවෙතත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ දක්වා වැඩි විය හැකියි.
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 ක් 60ක් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා. එමෙන්ම ගිනිකොණදිග අරාබි මුහුද ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ක් 80ක් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිායසිටියේ.
මේ හේතුවෙන් නැවත දැනුම්දෙන තෙක් ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශය තුල ධීවර කටයුතු සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසටයි අවවාද කෙරෙන්නේ. දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් ලෙසට පැමිණෙන ලෙසට දැනුම්දෙනවා.
මීට අමතරව නැවත දැනුම්දෙන තෙක් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා. මේ අතර අද (14) හෙට (15) සහ අනිද්දා (16) දිනවල දිවයිනේ උතුර උතුරු මැද වයඹ මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වල සුළගේ වේගය ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |