සඳුදා ඉඳන් වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය ඇරඹෙයි - දන්සැල් දෙන අයට දැනුම්දීමක්
වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් ලියාපදිංචිය ලබන සඳුඳා (4) සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කියා සිටියේ, රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවයි.
එසේම ඔහු ඉල්ලා ඇත්තේ දන්සැල් පැවැත්වීමට අදාළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට නිකුත්කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමසා තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.
එසේම ලේකම්වරයා සඳහන් කළේ ඊයේ පැවති පොහෝ දිනය වෙනුවෙන්ද දිවයින පුරා දන්සැල් 382ක් පැවති බවට තොරතුරු ලැබුණු බවයි. එමෙන්ම එම දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුව තිබූ බවද සඳහන් කර ඇත.
මේ අතර මෙම වර්ෂයේ මැයි මාසය තුළ පසළොස්වක පොහෝ දින දෙකක් යෙදී ඇති අතර, ඉන් ඊයේ (1) දිනය වෙසක් පොහෝ දිනය වශයෙන් නම් කර තිබුණද ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අනුශාසනා හා කරුණු දැක්වීම් මත සාකච්ඡාමය එකඟතාවකින් අනතුරුව වෙසක් පොහෝ දිනය ලෙස මැයි 30වැනිදා යෙදෙන පොහොය දිනය නම් කිරීමට රජය පියවර ගෙන තිබුණා.
එබැවින් ඊයේ දිනය අධි වෙසක් පොහෝ දිනයක් වශයෙන් සැලකුණි.