එක් ප්‍රදශයකින් එකවර කොවිඩ් ආසාදිතයන් 12 ක් හමුවේ

Covid-19
By Thaya Jan 13, 2021 06:32 PM GMT
Thaya

Thaya

Report

ගාල්ල කිත්තංගෙය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මිලිද්දුව ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිත පොකුරේ අයෙකු කිත්තංගෙය ප්‍රදේශයේ සේවයකිරීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණ 158 ක් අතරින් එම ආසාදිතයින් 12දෙනා තහවුරුකර ගැනුණි.

මේ අතර, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඒ අතරින් 6 දෙනෙකුම කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ සේවයකර ආසාදිතයෙකු ලෙස හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් වේ.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හැටන් දික්ඔය මූලික රෝහලට පැමිණි රෝගියෙකුට වෛරසය වැළඳී ඇතැයි තහවුරුවීම හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

පුත්තලම ලංගම ඩිපෝවේ කොළඹ - මන්නාරම බස්රථයක සේවය කළ කොන්දොස්තරවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව මන්නාරම ප්‍රදේශයේ සිදුකළ අහඹු පරීක්ෂණයකදී තහවුරු වී තිබුණි.

මේ හේතුවෙන් එම ඩිපෝවේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු 44 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්හ.

නමුත් බස්රථ සියල්ල විෂබීජහරණයකර මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට එම ඩිපෝව මේ වනවිට කටයුතු කර තිබේ.

ආසාදිත කොන්දොස්තරවරයා පුත්තලම ඩිපෝවේ පසුගිය 09 වැනිදා පැවති සර්ව රාත්‍රික පිරිත් පිංකමටද සහභාගි වී ඇතැයි අනාවරණය විය.