එක් ප්‍රදේශයක ටියුෂන් ගුරුවරයෙකුට කොවිඩ් - පවුල් 1000ක් නිරෝධායනයට දිස්ත්‍රික්කයම අනතුරේ

Covid-19 Quarantine Tuition
By Thaya Jan 22, 2021 07:19 PM GMT
Thaya

Thaya

Report

කන්තලේ ප්‍රදේශයේ පවුල් 1000කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

ඒ, කන්තලේ ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා උපකාරක පංති පැවැත්වූ ගුරුවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීම හේතුවෙනි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන එම ගුරුවරයාගේ පියාට සහ නැගණියටත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර, හැටන්, ගාමිණීපුර ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අතරින් පියා සහ පුත්‍රයාට මීට පෙර වෛරසය වැළඳී තිබූ අතර ස්වයං නිරෝධායනයට යොමු කර සිටි ඔවුන්ගේ පවුලේ සෙසු අය අතුරින් නව ආසාදිතයින් සිව්දෙනා හඳුනාගැනුණි.

මඩකලපුව අරසඩි 117A ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයින් 100 දෙනෙකු සඳහා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ මගින් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් එම ග්‍රාමසේවා වසම අද සවස 6 සිට හුදකලා කිරීමට බලධාරීන් තීරණය කළේය.

මඩකලපුව, කාත්තන්කුඩි හා ආරියම්පති යන ප්‍රදේශවලින් ඊයේ (20) කොවිඩ් ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගත් බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය

මේ අතර, දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් ආසාදිතයින් 07 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමග මේ දක්වා එම කොට්ඨාසයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 469ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 08 දෙනෙකුටත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණි.

එහි පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණ අතරිනි.