දිස්ත්‍රික් මට්ටමින් සංචාරක පුහුණු පාසල් ස්ථාපිත කෙරේ.

Tourism
By Thaya Feb 08, 2021 05:03 PM GMT
Thaya

Thaya

Report

දිස්ත්‍රික් මට්ටමින් සංචාරක පුහුණු පාසල් ස්ථාපිත කිරීමට පියවර ගැ‍ණේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට රකින සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එය ක්‍රියාත්මකයි. ඒ අනුව මේ වසර තුළ නව හෝටල් පාසල් 04 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක හෝටල් කලමනාකරණ ආයතනයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. රැස්වීම පසුගියදා (05) සංචාරක හෝටල් හා කලමනාකරණ ආයතනයේ මොනාරා උත්සව ශාලාවේදී පැවැත්විණ. සංචාරක අමාත්‍යංශය යටතේ ඇති සංචාරක හා හෝටල් කලමනාකරණ ආයතනය හෙවත් හෝටල් පාසල හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට අදාල වෘත්තිකයන් බිහි කරන මෙරට එකම හා ප්‍රධානතම ආයතනයයි. කොළඹ ප්‍රධාන හෝටල් පාසලට අමතරව මහනුවර, කුරුණෑගල,අනුරාධපුරය, බණ්ඩාරවෙල, කොග්ගල, රත්නපුරය, පාසිකුඩා හා යාපනේ ප්‍රදේශ ආශ්‍රිතව හෝටල් පාසල් ක්‍රියාත්මක වෙයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ මෙරට සියලූම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හෝටල් පාසල් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. මෙම සංචාරක හෝටල් වල සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයට අදාල විවිධ පාඨමාලා ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලා උපාධි පාඨමාලා දක්වා ඉහළ නැංවීමේ අවශ්‍යතාවයද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවද ඇමතිවරයා කීවේය. දැනට ඇති පාඨමාලා වලට අමතරව සාමාන්‍යපෙළ සුදුසුකම් රහිත එහෙත් මෙම ක්ෂේත්‍රයේ රැකියා කරන හා එම ක්ෂේත්‍රයට උනන්දුවක් ඇති තරුණ තරුණියන් වෙනුවෙන් ආරම්භක ඩිප්ලෝමා පාඨමාලාවක් හදුන්වා දීමට කටයුතු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය.