73 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම අදයි.

Independence Day
By Thaya Feb 04, 2021 07:46 PM GMT
Thaya

Thaya

Report

අභිමානවත් 73 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.

නිදහස් දින සැමරුම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උ‍ළෙල කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ ඉතා චාම් අයුරින් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

යුද හමුදා නිලධාරීන් 4325 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 868 දෙනෙකු, ගුවන් හමුදා නිලධාරීන් 945 දෙනෙකු, පොලිස් නිලධාරීන් 1382 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 515 දෙනෙකු ද මෙවර සැමරුම් උළෙලට එක්වීමට නියමිතය.

සියලු ජාතීන් නියෝජනය වනපරිදි සාම්ප්‍රදායික සංස්කෘතිකාංගයන්ද මෙවර ජාතික නිදහස් දින උත්සවයට එක්කර තිබේ.

නිදහස් දිනයට සමගාමීව ජාතික රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මකවන අතර අද පෙරවරු 9.29ට යෙදෙන සුභ නැකතින් පැළයක් සිටුවා මතුපරපුර සහ පරිසරය වෙනුවෙන් තම වගකීම ඉටුකරන ලෙස රජය මහජනතාවට දැනුම්දෙයි.

73 වැනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව කොළඹ නගරය තුළ උදෑසන කාලයේ විශේෂ රථ වාහන සැලස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර 73 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 146 දෙනෙකුට නිදහස් දීමට ද නියමිතව තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ සුලු වැරදි සඳහා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසක් මෙලෙස නිදහස් කිරීමට නියමිත බවය.