සංචාරකයන්ට රට විවෘත කළත් රටටත්, ජනතාවටත් අනතුරක් නෑ

Tourists
By Thaya Jan 05, 2021 06:15 PM GMT
Thaya

Thaya

Report

සංචාරක කර්මාන්තය හා එහි නියුතුවූවන් සම්බන්ධයෙන් විපක්ෂය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙරට කොවිඩ් අසාධිතයන් වැඩි වූ විට එය විපක්ෂයේ අමන්දානන්දයට හේතුවක් වන බවයි. මෙරට කොවිඩ් රෝගීන් වැඩිවෙද්දී විපක්ෂය ඉන් කාළකණ්ණි සතුටක් ලබන බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පසුගිය දා (01) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ඇමතිවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් තෝරා ගත් පාසල් සිසුන් 100 දෙනෙකුට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“මේ රටේ සංචාරත ව්‍යාපාරයෙන් ඍජුව හා වක්‍රව යැපෙන සංඛ්‍යාව ලක්ෂ 30කට ආසන්නයි. දැන් මාස 09 ක් තිස්සේ මේ අයට කිසිම ආදායමක් නෑ. අපිට පහුගිය කාලේ මේ ක්ෂේත්‍ර යේ නිරත අයගෙන් ලොකු ඉල්ලීමක් තිබුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රට විවෘත කරන්න කියලා. සංචාරක ව්‍යාපාරයට යොදවා තිබු සුඛෝපභෝගී වාහන වල පාරවල් අයිනේ පොල් විකුණනවා, රොටී විකුණනවා අපි දැක්කා. ඒ නිසයි අපි සංචාරකයන්ට රට විවෘත කරන්න තීරණය කළේ. අපි මේ මස අග දී වාණිජ ගුවන් ගමන් සදහා ගුවන් තොටුපළ විවෘත කරන්න සැලසුම් කරලා තියෙනවා. දැන් ක්‍රියාත්මක සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියාමන ව්‍යාපෘතිය ජනවාරි 19 වන විට අවසන් වෙනවා.

මාස 09කට පස්සේ මෙරටට පැමිණි යුක්රේන සංචාරකයන් කීපදෙනෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු වීම පිළිබද ව විපක්ෂය රට තුළ අනියත බියක් ඇති කරන්න උත්සාහ කරනවා. මේ එන හැම සංචාරකයෙක් ම අදාළ රටේ දී පීසීආර් පරීක්ෂාවකට ලක් කරනවා. එය නෙගටිව් නම් තමයි ඒ අයට සංචාරයට අවසර ලැබෙන්නේ. අපි මේ සංචාරකයන් මෙරටට පැමිණි වහා ම තවත් පීසීආර් පරීක්ෂාවක් කරනවා.තවදුරටත් තහවුරු කරගන්න. එහෙම කරපුවාම තමයි අපිට ඔය කියන ආසාදිතයන් හමුවුණේ.

අපිට මේ ගැන පූර්ව සුදානමක් තිබුණා. ඒ නිසා මේ රෝගීන් වාර්තා වු ගමන් අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවශ්‍ය පියවර ගත්තා. මේ එන සංචාරකයන් කිසිසේත්තම ශ්‍රී ලාංකිකයන් සමග මිශ්‍රවීමක් වන්නේ නෑ. මේ හෝටල් සේවකයන් පවා සංචාරකයන් සිටින විටත් ඔවුන් පිටව ගොස් දින 14 ක් ගත වන තුරුත් ගෙදරට යන්නේ නෑ. ඔවුන් දින 14 ක් එම හෝටල් තුළම නිරෝධායනයකින් පසුව පීසීආර් පරීක්ෂාවකින් කොවිඩ් අසාදීත නැතැයි තහවුරු කරගත් පසුවයි නිවෙස් වලට යවන්නේ.

ඒ නිසා මේ ගැන බිය විය යුතු නෑ. සංචාරකයන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ටත්, ශ්‍රී ලාංකිකයන්ගෙන් සංචාරකයන්ටත් මේ රෝගය බෝ වෙන්නේ නෑ . එය පාලනය කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අපි අවශ්‍ය සියලු පියවර අරන් තියෙනවා.