තෙවන කොරෝනා රැල්ලත් ආරම්භ වෙලා ද

Covid-19
By Thaya Mar 23, 2021 06:18 PM GMT
Thaya

Thaya

Report

එන්නතට මුල් තැන දෙමින් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ අවම කළහොත් එය මෙරට තෙවන කොරෝනා රැල්ලක ආරම්භය විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම තත්ත්වය එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට බලපෑ හැකි බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ. මේ අතර, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 314ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,514 දෙනෙකු දක්වා ඉහළ ගියා. එමෙන්ම, කොරෝනා මරණ 5ක් ද ඊයේ දිනයේ වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 551ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙලෙස මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 80ත්, 51ත් අතර වියේ පසුවන්නන්.

ඊයේ දිනයේ වාර්තා වූ මරණ 5ම පිරිමි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. දැනට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් 341 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 210 දෙනා කාන්තාවන්.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් 29,312 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17,838 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6562කුත් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වලට අමතර මහනුවරින් ආසාදිතයින් 4158 දෙනෙකුත්, රත්නපුරයෙන් 2758 දෙනෙකුත් වාර්තා වී තිබෙනවා. මේ අතර, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළේ චීන සිනොෆාම් කොරෝනා එන්නත මෙරට ජනතාව සඳහා එන්නත් කිරීමට මෙතෙක් පූර්ණ අනුමැතිය ලබා දී නොමැති බවයි.