නැගෙනහිර ජැටිය විකුණන්නෙත් නැහැ.. බදු දෙන්නේ නැහැ....
යහපාලන සමයේ සියයට 85ක් ඉන්දියාට විකුණන්න බදු දෙන්න ගිය විපක්ෂය නැගෙනහිර ජැටිය ආයෝජන ව්‍යාප්තියකට ලබාදීම පිළිබදව බොරුවට කෑ ගසන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
හැබැයි ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිව කියලා තියෙනවා නැගෙනහිර ජැටිය බදු දෙන්නෙත් නැහැ. විකුණන්නෙත් නැහැ කියලා. එසේ ලබාදෙන්නේ ආයෝජන අවස්ථාවකට පමණයි.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්තල තරුණ බල මණ්ඩලය පිහිටුවමින් අද (24) දින වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කල රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,ආයෝජන අවස්ථාවකට ලංකාවේ වගේම විදේශීය ඕන කෙනෙකුට ඉඩ දෙන්න පුළුවන්. ආයෝජන කළොත් තමා රැකියා ලැබෙන්නේ. කර්මාන්තපුර හැදෙන්නේ. විදේශීය විනිමය ලැබෙන්නේ. ඒ නිසා පැහැදිලිව කියනවා නැගෙනහිර පර්යන්තය ආයෝජනයකට පමණයි. ඉන්දියාවට, ජපානයට ඒ සදහා අවස්ථාව තියෙනවා. වෙනත් රටක් හරි ලංකාවේ කෙනෙකුට හරි ලංකාවේ නීති රීතී වලට යටත්ව ආයෝජනය කරන්න අවස්ථාව තිබෙනබවද වැඩි දුරටත් පැවසුවේය.
