බණ කියූ වරදට විහාරාධිපති හිමිනම ඝාතනය කරලා

matara weligama kapuvaththa wiwekarama temple thiththagalle dhewanandha thero
By Sewvandhi May 17, 2021 11:32 AM GMT
Report

පහරකෑමකට ලක්ව රෝහල් ගත කර සිටි වැලිගම ගොවියාපාන කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද නාහිමිපාණෝ අපවත් වී තිබෙනවා.

මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අපවත් වී ඇත්තේ ඊයේ (16) දිනයේ දියි. පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දේවානන්ද ස්වාමීන්වහන්සේට පහර දී තිබූ බව වාර්තාවන අතර ඉන් ලද තුවාළ හමුවේ උන්වහන්සේ රෝහල්ගත කර තිබුණා.

අපවත්වන විට උන්වහන්සේ 89 වැනි වියේ පසු වුණා. ධර්ම කරුණක් ගෙන හැර පාමින් ස්වාමීන්වහන්සේ ලබා දුන් උපදෙසක් සම්බන්ධයෙන් කෝපයට පත් වී ඔවුන් මෙම පහරදීම සිදු කර ඇති බව පැවසෙනවා. කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානය ආසන්නයෙන් ගලා බසින ඇල මාර්ගයේ පසුදිය දා තරුණයෙකු මසුන් අල්ලමින් සිට තිබෙනවා.

එය දුටු දේවානන්ද ස්වාමීන්වහන්සේ එම ස්ථානයට පැමිණ සත්ත්ව ඝාතනයෙන් සිදුවන අකුසල් පිළිබඳ පැහැදිළි කරමින් ඔහුට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා. ස්වාමීන්වහන්සේගේ වදනින් කෝපයට පත්ව ඇති තරුණයා පසුව ඔහුගේ මිතුරන්වන තවත් තරුණයින් සිව්දෙනෙකු ද කැඳවාගෙන විහාරස්ථානයට පැමිණ ඇති අතර විහාරස්ථානය තුළ දීම දේවානන්ද ස්වාමීන්වහන්සේට දැඩි ලෙස පහර දී තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක් වූ උන්වහන්සේ මාතර මහ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ අපවත්වී ඇත්තේ. මේ අතර මෙම පහරදීමට සම්බන්ධ සියලූ දෙනාට නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස වැලිගම ගුරුබැවිල ශ‍්‍රී නාගමහා විහාරාධිපති පූජ්‍යපාද දෙනගම රාහුල හිමිපාණන් පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

රාහුල හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දැනට කි‍්‍රයාත්මක වන නිරෝධායන නීති අනුව අපවත්වී වදාල පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද හිමිපාණන්ගේ ආදාහන කටයුතු අද (17) දින තුළ දීම සිදුකරන බව යි.

ඝාතනය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු මේවන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදුකරන බවත් වැලිගම පොලිසිය පැවසුවා. අත්අඩංගුවට පත් දෙදෙනා අවුරුදු 23, 24 යන වයස්වල පසුවන වැලිගම පදිංචිකරුවන් බව ද සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now