අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග වවුනියාවේදී අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාරයට

Terrorist Vavuniya
By Thaya Feb 18, 2021 07:52 PM GMT
Thaya

Thaya

Report

වවුනියාව, නෙදුන්කර්නි ප්‍රදේශයේදී ටී.එන්.ටී වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත මර්දන කොට්ඨාසය වෙත භාර දී තිබේ. නෙදුන්කර්නි, සේනපිලව් ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේය. පුපුරණ ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරු මත නෙදුන්කර්නි පොලීසිය සිදුකළ විමර්ශනයකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එහිදී සැකකරු සතුව තිබී ටී.එන්.ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 යි ග්‍රෑම් 635ක්, පී.ඊ. 1 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 610 ක් සහ පුද්ගල නාශක බෝම්බ සහ කොටස් 150 කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගත්තේය.

සොයාගන්නා ලද එම පුද්ගල නාශක බෝම්බවලින් 22 ක් සජීව මට්ටමේ පවතින බව ද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු රාජ්‍ය නොවන සංවිධානයක සේවය කළ පුද්ගලයෙකු බවය. උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා එම සැකකරු සිය සහයෝගය ලබාදී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දී ඇති බව නෙදුන්කර්නි පොලීසිය සඳහන් කළේය. මෙලෙස සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ආමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළේය.

“අඩි දෙකක් පමණ යටින් වළලා තිබුණ පුද්ගලයෙකු විසින් අඳින මරාගෙන මැරෙන බෝම්බ කට්ටල දෙකක් හම්බුණා. යුද හමුදාව ඒවා නිෂ්ක්‍රීය කරලා තියෙන්නේ. නෙදුන්කර්නිවල බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ කණ්ඩායමක හිටපු අයෙක් ගැන ලැබුණ තොරතුරක් අනුව ඔහුගේ නිවසේ තිබුණා ටීඑන්ටී කියන පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21ක්. බොහෝදුරට මොවුන් කරන්නේ බෝම්බ ලැබුණ විගස යුද හමුදාවට භාරදිය යුතුයි. සමහර වෙලාවට හොරෙන් අරන් ගිහින් මසුන් මරන්න ධීවරයින්ට දෙනවා. පාවිච්චි කරන්න තැත් කරපු පුපුරණ ද්‍රව්‍ය තමයි අපි මේ ගොඩගන්නේ. එල්ටීටීඊ එක හිස ඔසවනවානම් එයට තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා. විශාල ජාලයක් තියෙනවා ඒකයි අපි පරිස්සමින් වැඩකරන්නේ.“ මේ අතර, වවුනියාව, සෙට්ටිකුලම් පොලිස් වසමේ සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබියදී කිලෝ පහක් බරැති එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් ඊයේ (17) සවස සෙට්ටිකුලම් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

වවුනියාව රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සෙට්ටිකුලම් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහය ඇතිව සින්නතම්පනෙයි වැව ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයාගෙන ඇත. අදාළ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක ගොඩගන්නා අවස්ථාවේදීද සක්‍රීයව තිබුණු බවටත්, අවසන් යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනය සඳහා ආරක්ෂිතව එම ස්ථානයේ වළදමන්නට ඇති බවටත් පොලීසිය සැකපළ කරයි. සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක අධිකරණ නියෝගයකින් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රිය අංශ නිලධාරීන් විසින් නිශ්ක්‍රීය කිරීමට ඊයේ පස්වරුවේ කටයුතු කර තිබේ.