දියේ ගිලී සිසුවියක් මියයාම සම්බන්ධයෙන් ගුරුවරියක් අත්අඩංගුවට.

education
By Thaya Feb 01, 2021 05:38 PM GMT
Report

බලංගොඩ, කල්තොට බටකොළ ප්‍රදේශයේදී වලවේ ගඟේ දිය නාමින් සිටි සිසු සිසුවියන් පිරිසක් අතුරින් එක් සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්තොට පොලිස් වසමේ තන්ජන්තැන්න විද්‍යාලයේ භාහිර ක්‍රියාකාරකම් භාර ගුරුවරිය මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම විද්‍යාලයේ ළමුන් 15 දෙනෙක් සමග පෙරේදා දිනයේ දී වලවේ ගඟේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී 16 හැවිරිදි දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කල්තොට පොලීසිය විසින් විමර්ශනයක් සිදුකර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ගුරුවරිය පාසලේ විදුහල්පතිවරයාගෙන් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් කිසිදු අවසරයක් ලබානොගෙන එම දරුවන් රැගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව කල්තොට පොලීසිය විසින් නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (01) දිනයේ දී ඇය බලන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කල්තොට පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.