මේ කරුණු නොදැන Face Mask භාවිත කිරීමෙන් ඵලක් වේ ද? Video

face mask resist systematic exdended use filtration
By Sewvandhi Apr 29, 2021 05:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වසංගත තත්ත්වය සමග ජනතාව එයින් වැළකී සිටීමට භාවිත කළ යුතු ක්‍රමවේදයන් කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් ජනතාව දැනුවත් කරනු ලැබීය. මේ අතර වඩාත් ප්‍රයෝජනවත් නමුත්, මහ ජනතාව අතර අවබෝධය අවම ක්‍රමවේදයක් ලෙස මුහුණු ආවරණ (face mask) භාවිතය හැඳින්විය හැකි වේ.

එයට හේතුව ලෙස මුහුණු ආවරණ වර්ග කිහිපයක් තිබීම, ඒවායෙන් වෛරස ව්‍යාප්තියක් වැළක්වීමට සහ පළඳින පුද්ගලයාට ආරක්ෂාවක් ලැබෙන්නේ ද යන්න සහ නිවැරදිව මුහුණු ආවරණයක් පැළඳිය යුතු ආකාරය කුමක් ද යන්න බොහෝ දෙනා නිසියාකාරව නොදැන සිටීම දැක්විය හැකිය.


මේ පිළිබඳව මහනුවර ජාතික රෝහලේ, ක්ෂුද්‍ර ජීවවේදය සහ ආසාදන පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ රාජකාරියේ නිරත සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු පුද්ගලයින් හැරුණු කොට සාමාන්‍ය ජනතාව මුව ආවරණයක් භාවිතා කළ යුතු වන්නේ ප්‍රජා සෞඛ්‍යට බලපාන පරිදි උද්ගත වන හදිසි වසංගත අවස්ථාවක දී රෝගය ජනතාව අතර පැතිරීමක් සිදු වීම හේතුවෙන් එය වළක්වා ගැනීම සඳහා ය.

මුහුණු ආවරණයක් භාවිතයේ අරමුණ විය යුත්තේ, රෝගය ආසාදිත පුද්ගලයාගෙන් තවත් පුද්ගලයන්ට ව්‍යාප්ත වීම වැළක්වීමයි. සාමාන්‍ය විද්‍යා ව්‍යවහාරයේදී අසාදන දාමයක් ලෙස හඳුන්වනු ලබන්නේ මෙලෙස රෝගියෙකුගෙන් තවත් රෝගියෙකුට රෝගය පැතිරී යන ආකාරය දක්වන ගැලීම් සටහනයි.

රෝගය පැතිරී යාම වැළක්වීම සඳහා ගත යුතු පියවර ගැනීමට මෙම ආසාදන දාමය වැදගත් වේ. කොරෝනා වසංගත තත්ත්වයේදී වෛරසය පැතිර යාම වැළක්වීමේ වඩාත් සාර්ථක ම ක්‍රමවේදයන් ලෙස සබන් හෝ විෂබීජ නාශක දියර (sanitizer) භාවිතයෙන් දෑත් පිරිසිදු කිරීම සහ මුහුණු ආවරණ භාවිතයෙන් බිඳිතිවලින් ආරක්ෂා වීම පෙන්වා දිය හැකිය.

දැනට සොයාගෙන ඇති පරිදි කොරෝනාවෛරසය ව්‍යාප්ත වීමේදී එය වැඩිපුර ව්‍යාප්ත වන ක්‍රමය වන්නේ බිඳිති මගින් ව්‍යාප්ත වීමයි. මෙහිදී වෛරසය අඩංගු බිඳිති නාසා අපිච්ඡදය මත වැටීමෙන් රෝගය ශරීරගතව ව්‍යාප්ත වේ.

මීට අමතරව ස්පර්ශය හරහා ද වෛරසය නිරෝගී පුද්ගලයෙකුට ශරීරගත විය හැක. මුහුණු ආවරණයකින් සිදුකරනුයේ මෙම බිඳිති නාසා අපිච්ඡදය වෙත ගමන් කිරීම වැළක්වීමයි.

මෙහිදී මුව ආවරණයේ වර්ගය, ප්‍රමාණය, සැකැස්ම සහ සාදා ඇති ද්‍රව්‍ය අනුව, බිඳිති පුද්ගලයෙකුගේ නාසා අපිච්ඡදය වෙත ළඟා වීම වෙනස් වේ. සාමාන්‍යයෙන් මුහුණු ආවරණයක් සඳහා වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කරනු ලබන්නේ වියා නැති (non-woven) අමුද්‍රව්‍යකින් නිමවන ලද මුහුණු ආවරණයි.

රෙදිවලින් නිමවා ඇති මුව ආවරණ යම් ආරක්ෂාවක් ලබා දුන්නද එය එතරම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් නොවේ. එවන් රෙදි මුහුණු ආවරණ සෞඛ්‍ය සේවා සපයන ආයතනවල සේවකයන් සඳහා නිර්දේශ නොකරයි.

නමුත් ඇති වී තිබෙන තත්ත්වදී යම් ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අංශවල සේවය නොකරන ජනතාව සඳහා රෙදි මුහුණු ආවරණ නිර්දේශ කර තිබේ.

වෛරස ඇතුළුවීම වළක්වන මුහුණු ආවරණ ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.

1) Procedural mask

2) Medical mask

වෛද්‍ය මුහුණු ආවරණ මෙහි පළමු වර්ගය පර්යේෂණාගාර තුළ පර්යේෂණ කටයුතුවලදී බිඳිති මඟින් වන හානිය වැළක්වීම සඳහා භාවිත කරන මුහුණු ආවරණ වර්ගය යි. මෙහිදී එය පළඳින පුද්ගලයාගේ ආරක්ෂාව සලකා බලා මුහුණු ආවරණය නිම කොට ඇත.

දෙවන වර්ගය වන වෛද්‍ය මුහුණු ආවරණ පළඳින්නේ පළඳින පුද්ගලයා සහ රෝගියා යන දෙදෙනාගේ ම ආරක්ෂාව වෙනුවෙනි.

වෛද්‍ය මුහුණු ආවරණවල පොදු සැකැස්ම අනුව එහි වර්ණවත් පැත්ත බාහිරට වන ලෙස පැළඳිය යුතුය. එලෙස ම මෙම ශල්‍ය ආවරණ කිසිසේත් ම දෙපැත්ත මාරු කරමින් භාවිතා නොකළ යුතුය.

සමාජ මාධ්‍ය ජාලවල මේ සම්බන්ධ වැරදි මත ප්‍රචාරය වීම සිදු වුව ද කිසිසේත් ම වෛද්‍ය මුහුණු ආවරණ දෙපැත්ත මාරු කරමින් භාවිත කිරීම නොකළ යුතුය.

මුහුණු ආවරණවල ක්‍රියාකාරිත්වය අනුව ද කොටස් 2 ක් ඇත.

1) මුහුණු ආවරණ - මෙයට ශල්‍ය මුහුණු ආවරණ අයත් වේ. ඒවා ජලයට ඇති පාරදෘශ්‍යභාවය අනුව වෙනස් වේ.

2) ශ්වසන මුහුණු ආවරණ - මෙම මුහුණු ආවරණ පෙරීමේ හැකියාව (filtration) අනුව වර්ග කිහිපයක් තිබේ. ඒවා විවිධ නම්වලින් හඳුන්වන අතර එලෙස නම් ලැබෙන්නේ ඒවායේ පෙරීමේ හැකියාව 90% සිට 99% දක්වා වන තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

මුහුණු ආවරණය හරහා 90% ක් බිඳිති ගමන් කිරීම වළක්වන මුහුණු ආවරණ N 90 වශයෙන් ද,

95% සහ 99% ක පෙරීමේ හැකියාව සහිත මුහුණු ආවරණ N 95 සහ N 99 වශයෙන් ද නම් කරනු ලැබේ.

මුහුණු ආවරණ සැකසීමේදී ඒවා පරික්ෂා කිරීමට භාවිතා කරනු ලබන බිඳිති වර්ගය අනුව P 90, P 95, P 99 වශයෙන් දR 90, R 95 සහ R 99 වශයෙන් ද මුහුණු ආවරණ හඳුන්වනු ලබයි.

මෙහිදී P යනුවෙන් හඳුන්වන්නේ තෙල් (oil) යොදාගෙන තෙල් අණු ඒ හරහා ගමන් නොකරන (oil proof) ලෙස පරික්ෂා කිරීමට ලක් කරන ලද මුහුණු ආවරණයි.

R (resist) යනුවෙන් වර්ග කරන්නේ oil proof මුව ආවරණයේ තරම්වත් තෙල් බිඳිති එම ආවරණය හරහා ගමන් නොකරන මුහුණු ආවරණයි.

සාමාන්‍යයෙන් කොරෝනාවෛරස ව්‍යාප්තියේදී භාවිතා කරන මුහුණු ආවරණ N අක්ෂරය සහිතව ඇති ආවරණ වේ.

මෙහිදී N අක්ෂරය යොදන්නේ එම මුහුණු ආවරණ පරික්ෂා කිරීමේදී ජල බිඳිති භාවිත කිරීම නිසාය. එනම් neutral (උදාසීන) යන අදහස ඇතිවය.

මීට අමතරව KN ලෙස හඳුන්වන මුහුණු ආවරණ එසේ හඳුන්වන්නේ චීන ප්‍රමිතිගත කිරීම් අනුවය. ශල්‍ය මුව ආවරණද ඇතුළුව මෙම සියලු ම මුව ආවරණ භාවිතා කර ඉවත දැමිය යුතුවේ. නමුත් පවතින තත්ත්වය හමුවේ එය අසීරු කාර්යයකි.

මෙම මුව ආවරණ භාවිතා කොට නැවතත් භාවිතයට ගත හැකි ක්‍රම 2 කි.

1) Extended use මෙම ක්‍රමයේදී එක් පුද්ගලයෙකු විසින් වැඩි කාල සීමාවක් මුහුණු ආවරණය පැළඳීම සිදු කළ හැකි ය. මෙහිදී මුව ආවරණය දුර්වර්ණ වනතෙක් භාවිතා කළ හැකි වුවත් මෙය නිර්දේශිත ක්‍රමයක් නොවේ. එලෙසම මුව ආවරණය තෙත් වුවහොත් හෝ හානි වුවහොත් භාවිතයට නොගෙන ඉවත දැමිය යුතුය.

2) Reuse - නැවත භාවිතය මෙහිදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (H2O2) වාෂ්ප භාවිතය , පාරජම්බුල කිරණ (UV light) භාවිතය වැනි ක්‍රමවේදයන්ගෙන් මුහුණු ආවරණ ජීවානුහරණය කරයි. මෙම ක්‍රමවේද කාර්මික මට්ටමෙන් භාවිතා වන ඒවා වේ.

තව ද මේ වන විට බොහෝ දෙනෙකු කපාටයක් (valve) සහිත KN 95 මුව ආවරණ භාවිතයට පෙළෙඹ තිබෙන ආකාරය දැකිය හැකිවේ. බොහෝ දෙනා එය පෙරණයක් (filter) එකක් ලෙස වරදවා වටහාගැනීමක් හේතුවෙන් වැඩි ආරක්ෂාවට යැයි භාවිතා කළද ඉන් එය පළඳින්නාට මිස සමාජයේ අනෙක් පුද්ගලයන්ට ආරක්ෂාවක් සිදු නොවේ.

එම මුව ආවරණ ඇත්තේ හුස්ම ගැනීමේ අපහසුතාවක් සහිත පුද්ගලයන් සඳහා වේ. එහිදී අභ්‍යන්තර පීඩනය වැඩිවෙන අවස්ථාවල එය බාහිරට මුදාහැරීම සිදු කිරීම සඳහා එම කපාටය ක්‍රියා කරයි.

නමුත් ආසාදිත පුද්ගලයෙකු ෆිල්ටර් සහිත මුව ආවරණ භාවිතා කරන්නේ නම් එයින් මුළු සමාජය ම අනතුරට ලක් වේ. මක් නිසා ද ඔහුගේ මුව ආවරණයේ කපාටය කරහා බිඳිති සියල්ල බාහිර පරිසරයට මුදා හැරෙන බැවිනි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi