සෞඛ්‍ය උපදෙස් නොතකා පාසලට පැමිණි ගුරුවරයා හේතුවෙන් ශිෂ්‍යයින් අපහසුතාවයට

Health
By Thaya Feb 06, 2021 06:46 PM GMT
Thaya

Thaya

Report

සෞඛ්‍ය උපදෙස් නොතකා පාසලට පැමිණි ගුරුවරයෙක් හේතුවෙන් අද (05) අනුරාධපුරයේ පාසලක ළමුන් අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ගුරුවරයෙකුගේ බිරිඳ කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු එම ගුරුවරයා ද පසුගිය පළමුවැනිදා PCR පරීක්ෂණයට යොමු කෙරුණි.

එහෙත් PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙනතෙක් නිවසට වී සිටින්නැයි සෞඛ්‍ය අංශ පැවසුවත් එම උපදෙස් නොතකා ගුරුවරයා පාසලට පැමිණ තිබු බව සඳහන් වේ. පසුව එම ගුරුවරයා ඉගැන්වීම් සිදුකළ පංති කාමර 6ක් තාවකාලිකව වසාදමා එහි සිසුන්, ගුරුවරුන් 11 දෙනෙකු සහ කාර්යාල කාර්ය සහායිකාවක් ද නිරෝධායනය යොමුකළ බව සෞඛ්‍ය අංශ පැවසුහ.

මේ අතර, කෑගල්ල ලංගම ඩිපෝවේ සේවකයින් 50 දෙනෙකුට අද සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී සේවකයින් දෙදෙනෙක් ආසාදිත බවට හඳුනාගැනුණි. එසේම රෝග ලක්ෂණ මතුවූ කෑගල්ල පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහු ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකර ඇති අතර ආසාදිතයින් සියලුදෙනාම උඳුගොඩ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වයෙන් තාවකාලිකව අත්හිටවූ බන්ධනාගාර රැඳවියන් බැලීමට පැමිණීමට ඔවුන්ගේ ඥාතීන්ට අවසර දීමට බලධාරීන් තීරණය කර තිබේ. පෙබරවාරි පළමු වැනිදා සිට ඊට අවසර දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය. නමුත් ඊට අවස්ථාව ලබාදී ඇත්තේ කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවන බන්ධනාගාරවල පමණය.

ReeCha