සෞඛ්‍ය ශක්තිමත් කරමින්, රටේ සංවර්ධන කටයුතු දිගටම

Health
By Thaya Mar 21, 2021 06:43 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 හේතුවෙන් රටවල් වසා තිබුනත් ලක්ෂ ගණන් මිය යන බැවින් මෙරට සෞඛ්‍ය ශක්තිමත් කරමින්, රටේ සංවර්ධන කටයුතු ද රජය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ රත්නපුර දිස්ත්‍රික් නීතිඥ සංවිධානයේ රැස්වීමකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් දක්වන ලදි. මෙම රැස්වීම රත්නපුර දිස්ත්‍රික් නීතිඥ සංවිධානයේ නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් ගොඩකවල ප්‍රදේශයේ දී පසුගියදා පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - “අපි පළමු කොවිඩ් රැල්ල සාර්ථකව පාලනය කළා. නමුත් රට හැමදාම වහලා තියන්න බැහැ. අද බොහෝ රටවල් වහලා තිබුනත් ලක්ෂ ගණන් මිය යනවා. අපි දවසකට ලක්ෂ 800 ක් විතර පී.සී.ආර් පරීක්ෂණ සදහා පමණක් වියදම් කරනවා. කොවිඩ් වෛරසය වාර්තා වන විට අපට ඊට අදාල ප්‍රතිකාර සේවාවන් ලබාදීමට තිබුනේ එක රෝහලයි. ඒ අයි.ඩී.එච් රෝහල විතරයි. දෛනිකව රෝගීන් විශාල වශයෙන් වාර්තා වන විට අපි සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.” .

“සියළු අභියෝග ජයගනිමින් රටේ සංවර්ධන කටයුතු ද සාර්ථකව සිදු කරනු ලබනවා. අපි දැන් පටන් ගන්නවා පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන්න. හැම ගෙදරකටම ජලය, විදුලිය දෙන්න කටයුතු කරනවා. ඉදිරි මැතිවරණ අපි ජයග්‍රහණය කළ යුතුයි. එම ජයග්‍රහණ කළ යුත්තේ රටට හොදට මිසක් වෙන කාගේවත් හොදකට නොවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය තමයි අද ලංකාවේ පක්ෂයක තිබෙන දැවැන්තම නීතිඥ සංගමය. මෙවැනි ශක්තිමත් නීතිඥ සංගමක් අපට හදා ගැනීමට හැකිවීම ගැන අප සතුටු වෙනවා. මේ බලවේගය මාතෘ භූමියේ සුභදායක තත්ත්වය සදහා යොදා ගනිමින් මේ බලවේගය තවත් ශක්තිමත් කළ යුතුයි..”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය හොරකම් අවම කිරීමට කටයුතු කරන බවත්. තමන් කවදාවත් හොරකම් කරලත් නැහැ, හොරකම් කරන්නෙත් නැහැ කියන සහතිකය තමන්ට ලබාදිය හැකි බවත්ය.