වැලි ජාවාරමට තිත.-මිල පාලනය කිරීමට ක්‍රමවේදයක් ....

Smuggling
By Thaya Mar 03, 2021 05:15 PM GMT
Thaya

Thaya

Report

මනම්පිටියේ වැලි කියුබ් 03ක වැලි ටිපර් එකක් රුපියල් 14,000ක් වැනි මිලක් වුවද ඒවා කොළඹ ඇතුළු අනිකුත් ප්‍රදේශවලට ප්‍රවාහනයේ දී මේ වනවිට රුපියල් 65,000 දක්වා ඉහළ ගොස් ඇති බැවින් වැලි මිල ඉහළ යාම වැළැක්වීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් වහාම සකස් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට ඊයේ (02) උපදෙස් දුන්නේය. පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා වැලි මිල ඉහළ යාම පාලනය, වැලි බෙදාහැරීමේ දී ජාවාරම්කරුවන් පිරිසක් විසින් අධික ලෙස මුදල් අය කරමින් මහජනතාව ගසා කෑම, මහවැලි ගඟෙහි වැලිවලට වෙනත් වැලි වර්ග කළවම් කර අලෙවි කිරීම, ඇණවුම් කරන නියමිත ප්‍රමාණයෙන් වැලි මහජනතාවට නොලැබීම වැනි කරුණු රැසක් සම්බන්ධව මෙහි දී සාකච්ඡා කරනු ලැබීය.

ඒ අනුව වැලි ජාවාරම නැවැත්වීමටත්, වැලි මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා සමුපකාර සමිති ක්‍රමයක් මගින් වැලි කැණීම් කටයුතු හා බෙදා හැරීම් සිදු කිරීමට මෙහිදී යෝජනා විය. ඒ අනුව මඩකලපුව, ත්‍රිකුණාමලය, හා පොළොන්නරුව දිස්ත්‍රික්ක තුනෙහි තෝරා ගන්නා ලද ස්ථාන 06ක් ආශ්‍රිතව වැලි කැණීම්කරන්නන් ගේ සමුපකාර සමිති පිහිටුවීමත්, වැලි කැණීම හා ප්‍රවාහනය සඳහා නියාමණ ව්‍යාපෘතියක් එම දිස්ත්‍රික්ක 03 ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමටත් තීරණය විය. මෙම වැලි කැණීම් සම්බන්ධ සමුපකාර පිහිටුවීමේ නියාමණ ව්‍යාපෘතියේ දී වැලි කැණීම් කටයුතු සඳහා සමෘද්ධිලාභී පවුල්වල සාමාජිකයින් යොදා ගැනීම මගින් එම පවුල්වලට අමතර ආදායමක් ලබා ගැනීමට හැකි වන පරිදි වැඩ පිළිවෙළක් සකසන්නැයි ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

කෙසේ වුවද දේශපාලනඥයින් විශාල වශයෙන් වැලි, පස්, කැණීම් කටයුතු සඳහා මැදිහත්වන බව පැවසු අමාත්‍යවරයා ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ දේශපාලකයින්ට නොව වැලි කැණිම් සිදුකළ හැකි ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වලට ආදායමක් ලබා ගත හැකි වන පරිදි බව ද ප්‍රකාශ කළේය. නියාමණ ව්‍යාපෘතියක් වශයෙන් මෙම වැලි කැණීම් කටයුතුවල නිරතවන්නන්ගේ සමුපකාර සමිති ක්‍රමය කඩිනමින් ආරම්භ කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වුහ.