තවමත් අන්තවාදී දේශන පවත්වයි. දෙදෙනෙක් අත්අඩංගුවට

Police
By Thaya Apr 08, 2021 06:03 PM GMT
Thaya

Thaya

Report

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන් සඳහා මුලධර්මවාදී හා අන්තවාදී දේශන පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් ඔලුවිල් ප්‍රදේශයේ දී ඊයේ (07) අත්අඩංගුවට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අත්අඩංගුවට පත් සැකකරුවන් 30 හැවිරිදි හා 39 හැවිරිදි ඔලුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. විදේශීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම්වලට සාමාජිකයින් බඳවා ගැනීමට පවත්වන දේශනවල අඩංගු කරුණු සැකකරුවන් විසින් මෙරට සිටින ළමුන් වෙත ලබා දී ඇති බවට වාර්තා වී තිබේ.

2018 වසරේ දෙසැම්බර් මාසයේ දී එම පන්ති ඔලුවිල් ප්‍රදේශයේ දී පවත්වා ඇති අතර, එම පන්තිවලට සහභාගී වු සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව විවිධ ශාරීරික අභ්‍යාස ලබාදුන් බවට ද හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එම අභ්‍යාසවලට අකමැති වු සිසුන්ට පහරදීම් ද සිදුකර ඇති අතර, එවැනි පහරදීම්වලට ලක්වු සිසුන් පිරිසක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සොයාගෙන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබේ. රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම්ගේ අනුදැනුම මත එම අන්තවාදී පන්ති පැවැත්වු බවට අනාවරණය වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් පැවසීය