ගුවන් සේවයට නවීකරණය කරන ලද නව කාර්යාලයක් ..

srilanka colombo srilankanguwan asak pathiraga
By Nimal Apr 23, 2021 10:56 AM GMT
Nimal

Nimal

Report

 ශ්‍රීලංකන් ගුවන් සේවය සිය නවීකරණය කරන ලද නව කාර්යාලය ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 යන ස්ථානයේ දී අද (23) ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ සහ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

කොළඹ වාණිජමය හදවත බඳු ප්‍රදේශය තුළ පිහිටා ඇති මෙම කාර්යාලය උපායමාර්ගිකව ස්ථානගත කර තිබේ. ඈත අතීතයේ සිට මේ දක්වාම ගුවන් සමාගමේ නගර කාර්යාලය මෙම ගොඩනැගිල්ලේ ස්ථාන ගතව තිබිණි.එහි මුහුණත සහ අභ්‍යන්තර ව්‍යුහය ලන්දේසි ඉදිකිරීම් කාලය පිළිබිඹු කරයි.

පරිසර හිතකාමී අභ්‍යන්තර ව්‍යුහය සමඟ සම්මිශ්‍රණය වෙමින් මෙම පැරණි ගොඩනැගිල්ල නවීකරණය කළ අතර එය අද වන විට ඉතා ආකර්ශනීය පෙනුමක් ලබා දෙයි. මෙම ස්ථානයේ ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අලෙවි අංශය, ශ්‍රීලංකන් හොලිඩේස්, ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් අංශය සහ මාධ්‍ය ඒකකය ඇතුළු ආයතනික කාර්යාලය ස්ථානගත කර තිබේ.

මීට ඉහත දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ විකුණුම් හා ආයතනික කාර්යාල කොළඹ WTC හි ස්ථානගත කර තිබූ අතර , වසර දෙකකට පෙර එම කුලී ගිවිසුම් අවසන් කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 80 ක් ඉතිරි කර ගැනීමට ගුවන් සේවයට හැකියාව ලැබිණි.

තවද, කොළඹ පිහිටි ගුවන් භාණ්ඩ අලෙවි කාර්යාල පරිශ්‍රයේ බදු ලබා ගැනීම මේ අනුව අහෝසි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව ඩොලර් මිලියන 10 ක් ඉතිරි වේ. මෙම නව කාර්යාල පරිශ්‍රය ඵලදායී ලෙස භාවිතා කිරීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන ලද අතර පවතින වසංගතය හේතුවෙන් ව්‍යාපෘතිය ප්‍රමාද විය. ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහනේ කොටසක් ලෙස මෙම නව කාර්යාලය ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත යන ස්ථානයේ දී වීවෘත කරන ලදී.

දිගු ඉතිහාසයක් ඇති මෙම ස්ථානය රජය සතු දේපළක් වන අතර එය වර්ෂ 1976 දී එයාර් සිලෝන් වෙත ලැබුණි. එයාර් සිලෝන් වසා දැමීමත් සමඟ මෙම ඉඩම 1985 දී එයාර් ලංකාව විසින් මිලදී ගත් අතර එය දැනට ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් බවද ගුවන් සමාගමේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.