පොදු ප්‍රවාහනයට පෙරගෙවුම් කාඩ්පත කඩිනමින් .

srilanka transport gamine lokuge
By Nimal Apr 22, 2021 02:05 PM GMT
Nimal

Nimal

Report

 ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා වන නවමු පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත හඳුන්වා දීම සඳහා සිව් පාර්ශවීය ගිවිසුමක් අත්සන් කිරීමට ප්‍රධාන පාර්ශවකරුවන් මෙහෙයවමින්, ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළහ.

මෙම පෙරගෙවුම් කාඩ්පත් ව්‍යාපෘතිය වසර කිහිපයක් තිස්සේ යෝජිතව පැවති අතර ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ශ්‍රී ලංකාව සඳහා එක් ප්‍රවාහන විද්‍යුත් ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම සඳහා ඇතුළත්වූ යෝජනාව අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත ක්‍රියාත්මක කිරීම සඳහා වන සිව් පාර්ශවීය ගිවිසුමට, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මහජන බැංකුව සහ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් 2021 අප්‍රේල් මස 22 වැනි දින ප්‍රවාහන අමාත්‍යාංශයේදී අත්සන් තබන ලද අතර ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ලේකම්වරු හා නිලධාරීන්ගේ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක , ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම ,ලංකා ක්ලියර් පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිළධාරී චන්න ද සිල්වා සහ මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.බී. රාජපක්ෂ යන මහත්වරුන් අදාල ආයතන නියෝජනය කරමින් මෙම ඓතිහාසික ගිවිසුමට අත්සන් කළහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියෙන් යුතුව සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ සහාය මත ලංකා ක්ලියර් සමාගම විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත ක්‍රියාත්මක කිරීමේ යෝජනාව සඳහා 2021 පෙබරවාරි මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණි. ලංකා ක්ලියර් සමාගම විසින් පහසුකම් සපයනු ලබන ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය (NCS) යටතේ, සියලුම බලයලත් මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත නිකුත් කරනු ලැබේ.

ඩෙබිට්/ක්‍රෙඩිට් පහසුකමට අමතරව ගබඩා කළ වටිනාකම් පහසුකම එකම චිප් පතකට ඇතුළත් කරමින්, ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන ප්‍රථම ද්වි කාර්ය කාඩ්පත බවට ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත පත්වනු ඇත. මෙය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM), POS යන්ත්‍ර හා සියලුම ප්‍රවාහන සේවා සඳහා එකම කාඩ්පතක් උපයෝගී කරගැනීමට හැකිවන සුවිශේෂි පහසුකමක් වන අතර එමගින් විවිධ මාදිලියේ ගනුදෙනු සඳහා එක් කාඩ්පතක් භාවිතා කිරීමේ පහසුව ජනතාවට හිමිවේ. එමෙන්ම, එය ප්‍රවාහනය සේවා සඳහා පමණක් භාවිතා කළ හැකි කාඩ්පතක් වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබූයේ නම්, කාඩ්පත් මුද්‍රණය හා බෙදාහැරීම සඳහා රජයට දැරීමට සිදුවන අතිවිශාල වියදමක් ද මෙමගින් ඉතිරි වනු ඇත.

නියමු අදියරේදී, ප්‍රවාහන අමාත්‍යාංශය විසින් හඳුනාගනු ලබන, තෝරාගත් මාර්ගවල රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත භාවිතා කළ හැකිවනු ඇති අතර එය ක්‍රමයෙන් වෙනත් මාර්ග හා ශ්‍රී ලංකා දුම්රිය සේවාව දක්වා ව්‍යාප්ත කෙරේ. මෙම ජාතික ව්‍යාපෘතියට ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව නිසි සහයෝගය දැක්වූ අතර මාස දෙකක කාලයක් තුළ දියත් කිරීමට යෝජිත මෙම ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත නිකුත් කිරීමේ ප්‍රථම බැංකුව වශයෙන් මහජන බැංකුව ඊට ඉදිරිපත් විය. ලංකා බැංකුව සහ සෙසු රාජ්‍ය බැංකු ද මාස කිහිපයක් තුළ ලංකා පෙරගෙවුම් කාඩ්පත නිකුත් කිරීමට කටයුතු කරමින් මෙම ජාතික ව්‍යාපෘතියට එක් වෙමින් පවතී. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මෙම කාඩ්පත රජයේ සහ පෞද්ගලික බස් රථවල භාවිතා කිරීමට අවශ්‍ය තාක්‍ෂණික පසුබිම සකස් කරමින් සිටිති.

මෙම ජාතික කාර්යයේ වැදගත්කම සළකා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟ පෙන්වීම මත, ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත භාවිතයෙන් සිදුකෙරෙන පොදු ප්‍රවාහන සේවා ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ ජාලය ගාස්තු අයකිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට ලංකා ක්ලියර් සමාගම ඉදිරිපත් වී තිබේ. මෙම වැඩපිළිවෙල සඳහා සියළුම පළාත් ප්‍රවාහන බලධාරීන්ගේ සහාය මෙන්ම බොහෝ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම්වල සහාය ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ලබා ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන බස් රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ සුභසාධනය සඳහා දායක වීමට ද යෝජනා කරමින්, ඒ අනුව මෙම යෝජනා ක්‍රමය සැලසුම් කර ඇති බැවින් මෙම කාර්යයට සියලු පාර්ශවකරුවන්ගේ පිළිගැනීම හිමිවී තිබේ.