වොලිබොල් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක්.

srilanka chanchana jayarathna sporst
By Nimal Apr 27, 2021 07:26 AM GMT
Nimal

Nimal

Report

 මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය සදහා ඉදිරියේදී වොලිබෝල් ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර ගැනීම අරමුණු කොටගෙන වැදගත් වූ තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කරන බව වොලිබොල් සම්මේලනයේ වත්මන් සභාපති කංචන ජයරත්න මහතා පවසයි.

එමෙන්ම මෙරට වොලිබොල් ක්‍රීඩාවේ ව්‍යාප්තිය පිළිබදව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජාතික සංගණනයක් සිදු කර මෙරට ඇති වොලිබෝල් සමාජ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා පිටි සංඛ්‍යාවන් පිළිබද තොරතුරු ලබාගැනීමට නියමිතය.

මෙම සංගණනය පාසල් මට්ටමින් පාසල් වොලිබෝල් සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන ක්‍රීඩා අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමටත්, ව්‍යවස්ථාපිත වොලිබෝල් සංගම් (ත්‍රිවිධ හමුදාව, පොලීසිය) හරහා සිදු කිරීමටත් නියමිත අතර, දත්ත ලබාගැනීමෙන් පසු වොලිබෝල් සම්මේලන තාක්ෂණික කමිටුව හා සංවර්ධන කමිටුව මගින් මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ සංවර්ධනය සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රීයාත්මක කිරීමට ද නියමිතය.

දිවයින පුරා සිටින යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයාගැනීම සදහා වූ වැඩපිළිවෙළක අඩුවක් දක්නට ලැබෙන බැවින් “දක්ෂයින් සොයා යෑමේ” (Talent Hunt) යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ක්‍රීඩා අමාත්‍යාංශය හා ඒකාබද්ධව දිස්ත්‍රික් වොලිබෝල් පුහුණූ සංචිත ආරම්භ කර කණිෂ්ඨ හා යොවුන් තරඟමාලා පවත්වමින් වසර 02 කට වරක් වත් ආසියානු තරඟාවලි පැවැත්වීමට ද නියමිතය. විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් බීච් වොලිබෝල් සහ ගෘහස්ථ වොලිබෝල් තරඟාවලි 02 ක් වාර්ෂිකව පැවැත්වීමට ද නියමිතය. තවද වෙරළ වොලිබෝල් ද ඇතුලුව පුහුණුකරුවන් සහ විනිශ්ච්‍යකරුවන්ගේ දැනුම යාවත්කාලීන කිරීමට පියවර ගනිමින් ඔවුන් ලියාපදිංචි කර හැදුනුම් පත් නිකුත් කිරීමට ද නියමිතය.

ජාතික වොලිබොල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුකරුවන්ට හා විනිශ්ච්‍යකරුවන්ට උපහාර පිදීමේ උත්සව සංවිධානය කිරිමට ද නියමිතය. 1951 වර්ෂයේ වොලිබෝල් සම්මේලනය ආරම්භ කළ දින සිට ඡ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ, යොවුන් කණ්ඩායම් නියෝජනය කළ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු ද ඇතුළුව පුහුණුකරුවන් , විනිශ්ච්‍යකරුවන් , පරිපාලකයින් හා ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව හා බැදුනු විශේෂ සිද්ධීන් ඇතුලත් කර වොලිබෝල් දත්ත මධ්‍යස්ථානයක් (information Centre) පිහිටුවීමට ද නියමිත අතර, “ගාල්ල වොලිබෝල් හවුස්” හි වොලිබෝල් ක්‍රීඩා කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට ද තීරණය කොට ඇත.

එමෙන්ම වෙරළ වොලිබොල් ක්‍රීඩාව තවදුරටත් ජනප්‍රිය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩා උළෙල සදහා වෙරළ වොලිබෝල් ක්‍රීඩාව ක්‍රීඩා ඉසව්වක් ලෙස ඇතුලත් කිරීම සදහා පියවර ගැනීමටත්, ක්‍රිකට් තරග මෙන්ම ප්‍රධාන පාසල් අතර වාර්ෂිකව වොලිබෝල් තරඟ (Big Match) හදුන්වාදීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාසල් වොලිබෝල් සංගමය සමග වැඩපිළිවෙළක් සකස් කෙරේ.

මේ වසරේ පටන් බීච් වොලිබෝල් ලීග් නමින් තරගාවලියක් ඩයලොග් ආයතනය සමග ආරම්භ කර ඇති අතර, වාර්ෂිකව මෙම තරගාවලිය පැවැත්වීමට ද නියමිතය. වතු ආශ්‍රිතව වොලිබෝල් ක්‍රීඩාව දියුණූ කිරීම සදහා වැඩපිළිවෙළක් සකස් කෙරෙන අතර, වතු ක්‍රීඩා කොට්ඨාස තුලින් වතු තරඟාවලි නැවත ආරම්භ කිරීමට ද නියමිතය.

ක්‍රීඩා අමාත්‍යාංශය ද සම්බන්ධ කොට ගෙන ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් ඇති කිරීමටත්, ක්‍රීඩා උපකරණ පහසු මිලට ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රීඩා අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඒකාබද්ධ වැඩපිළිවෙළක් හදුන්වාදීම කෙරෙහි ද අවධානය යොමු කෙරෙන බවද කංචන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය..   

ReeCha