විපක්ෂය චෝදනා නැගීම පදනම් විරහිතයි...

srilanka mahinda amarawera politikal
By Nimal Apr 30, 2021 06:31 AM GMT
Nimal

Nimal

Report

 කිසිදු පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට හෝ නිදහස් කිරීමට රජය මැදිහත් වන්නේ නැහැ. ඒක නීතිපතිතුමන් විසින් ගරු අධිකරණය වෙතින් ඉල්ලීමක් කළොත් ඒ මත සිදුවන දෙයක්. එසේ නැතිව රජය , අගමැතිතුමා, හෝ ජනාධිපතිතුමා හෝ කිසි විටෙක කිසියම් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැදිහත් වන්නේ නැතැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළකලේ පරිසර අමාත්‍යංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ''එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතැයි විපක්ෂය විසින් නගන චෝදනාවල සත්‍යතාවයක් ඇත්දැයි'' මාධ්‍යවේදීහු කරුණු විමසු අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වු මහින්ද අමරවීර ඇමතිවරයා, පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විශාල කතාවක් කළා. පාස්කු ප්‍රහාරය කියන්නේ මේ රටේ යුද්ධයක් නැති කාලෙක එල්ල වු බරපතලම ත්‍රස්ත ප්‍රහාරයයි. ඉන් කතෝලික ජන ජීවිත රැසක් මොහොතකින් අහිමි වුනා. ඒ සම්බන්ධව එම ජනතාවට විශාල වේදනාවක් තිබෙනවා.

ඒ සම්බන්ධව වගකිව යුතු පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක්. මගේ අදහස නම් මෙම කාරණය කිසිවෙක් විසින් හෝ සැහැල්ලු කාරණයක් ලෙස නොගත යුතුයි. හරීන් ප්‍රනාන්දු මහතා ඒ ගැන අනිත් අය නොදන්නා කරුණු දන්නවා නම් ඒවා ආරක්ෂක අංශ වෙත හෙළි කිරීම ඔහුගේ යුතුකමක්.නමුත් ඔහු දැන් රෝහල් ගත වී සිටිනවා. ඒ අතරේ රජය විසින් ඔහු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරනවා කියමින් රජයට චෝදනා කරනවා. මම දන්න හැටියට රජය කිසිවිටෙක හරීන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීමක් තබා අඩු තරමින් ඔහු සම්බන්ධව හෝ ඔහු විසින් කළ ප්‍රකාශය සම්බන්ධවත් සාකච්ඡා කර නැහැ.

නමුත් විපක්ෂ නායකතුමා තැන් තැන්වල මාධ්‍යයට වොයිස් කට් දෙනවා විපක්ෂය මර්දනය කරනවාලු, හරීන් අත් අඩංගුවට ගන්නවාලු. එයත් හරීන් එක්ක සිර ගත වෙන්න සුදානම් කියළා. මම කියන්නේ තමන් වැරැද්දක් කර නැත්නම් බිය වීමට දෙයක් නැහැ. නමුත් මම පැහැදිළිවම කියනවා හරීන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීමක් ගැන කිසිදු අවස්ථාවක රජය විසින් සාකච්ඡාවක් හෝ කර නැති බව. මේ චෝදනා පදනම් විරහිතයි යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.