අමාත්‍ය ධුරයක් ලබා දීම යහපත් දෙයක්...

srilanka politics mahinda amarewera
By Nimal Jun 30, 2021 10:38 AM GMT
Report

බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ දක්ෂයෙක් බැවින් එතුමාගේ සේවය සුළු කාරණාවලට ලඝු කළ යුතු නැතැයි ද පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. .

බැසිල් රාජපක්ෂ මහතාට ඇති සම්බන්ධතා මත කළ යුත්තේ අපේ රටට ලබා ගත හැකි ආර්ථිකමය වාසි සඳහායි යැයිද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසුවේය.

අද පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී බැසිල් රාජපක්ෂ මහතාට අමාත්‍ය ධුරයක් පිරිනැමීමට කටයුතු කරමින් සිටින බවට රටේ පැතිර යන රාවය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසූහ.එහිදි තවදුරටත් අදහස් දැක්වු මහින්ද අමරවීර මහතා, බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ දක්ෂයෙක්. එතුමා ඉතාමත් කෙටිකාලයක් තුළ ආරම්භ කර අලුත්ම පක්ෂය මගින් ජනතා විශ්වාසය දිනාගනිමින් ප්‍රාදේශීය සභා සියල්ලත්, ඒ වගේම ජනාධීපතිවරණයත්, ඉන් අනතුරුව පැවති මහා මැතිවරණයත් ජයග්‍රහණය කර තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවනු ලැබුවා. එමනිසා එවැනි දක්ෂ පුද්ගලයෙකුට අමාත්‍ය ධුරයක් ලබා දීම නොකළ යුත්තක් යැයි මම හිතන්නේ නැහැ.

අනිත් එක තමයි එතුමාගේ දක්ෂතාවයන් මෙන්ම සම්බන්ධතා භාවිතා කළ යුත්තේ සුළු සුළු කාරණාවලට නොවෙයි. අපේ රටේ ආර්ථිකය සම්බන්ධ කාරනාවල දී එතුමා සතු හැකියාවන් භාවිතා කල හැකියි. එම නිසා එතුමා පාර්ලිමේන්තුවට පැමිණීම හා අමාත්‍ය ධුරයක් ලබා දීම මම සළකන්නේ යහපත් දෙයක් විදියටයි. රසායනික පොහොර සම්බන්ධයෙන් මේ වනවිට උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගෙන් කරුණු විමසනු ලැබීය. ජනාධිපතිතුමා කාබනික වගාව ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් එතුමාගේ වැඩ පිළීවෙළ යෝජනා කළේ සෞභාග්‍ය යේ දැක්ම වැඩ පිළිවෙළ යටතේයි. ඉන්පසුව එතුමා ඒ සම්බන්ධව රාජ්‍ය අමාත්‍යාංශයක් පත් කළා. ඒ වගේම රුපියල් බිලියනයක් පමණ මුදල් ලබා දුන්නා.

නමුත් මේ වැඩ පිළිවෙළේ මන්දගාමී බව නිසා තමයි සමහරු මෙම තීරණය හදිසි තීරණයක් වගේ තේරුම් අරන් තියෙන්නේ. නමුත් කාබනික පොහොර භාවිතය සම්බන්ධව එතුමා ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩ පිළිවෙළ ආරම්භ වන්නේ 2021 මහ කන්නයේ සිටයි. යළ කන්නයේ දී රසායනික පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න රජය තීරණය කළා.

කෘෂිකර්මාන්ත අමාතයාංශය විසින් යළ කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර ඇති බව අමාත්‍ය මණ්ඩලයේ දීත් ප්‍රකාශ කළා. නමුත් යම් යම් ප්‍ර දේශවලට යළ කන්නය සඳහා රසායනික පොහොර ප්‍රමාණවත් ලැබී නැති බව පැහැදිළියි. ඇතැම් විට අතරමැදියන් පොහොර සඟවාගෙන සිටිනවා ද විය හැකියි. කොහොම නමුත් මෙවර පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී දැනට පොහොර හිඟය පවතින ප්‍ර දේශවලට කඩිනමින් පොහොර සැපයීමට කෘෂිකර්ම ඇමැතිතුමා එකඟතාවය පළ කළා.

කොහොම වුනත් කාබනික පොහොර භාවිතය සම්බන්ධව ජනාධිපතිතුමා ගත් තීරණය හදිසි තීරණයක් නොවේ. එය එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම කර තිබු පොරොන්දුවක් ඉටු කිරීමක්. කෙසේ වුවද රසායනික පොහොර තහනම් කිරීමට එතුමා ගත් තීරණය ඉතා විශිෂ්ට තීරණයක්. මෙහි ඇති වැදගත්කම දැන් අවබෝධ නොවුනත් අනාගතයේ දී මේ රටේ කෘෂිකර්මාන්තයේ ගත් හොඳම තීරණය බව හැම දෙනාටම අවබෝධ වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.