ජුලි මාසයේදී මෙරටට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 09 ක් ....

srilanka politics presannaranatunga
By Nimal May 19, 2021 06:29 AM GMT
Report

 ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 09 ක් මෙරටට ගෙන්වීම සදහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් රජයේ බළධාරීන් මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බවයි. ජූලි මාසය වන විට එම එන්නත් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කරයි.ජුලි මාසයේදී මෙරටට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 09 ක් .... | Srilanka Political

ගම්පහ දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලයේදී ඊයේ (18)පැවැති එන්නත්කරණ වැඩ සටහනේ ප්‍රගතිය විමසා බැලීම සදහා සහභාගිවු විශේෂ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 260,915 කට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී තිබේ. එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 9,826 කට ලබා දී ඇති බව ද සෞඛ්‍ය බළධාරීහු මෙහි දී පෙන්වා දුන්හ. ගම්පහ දිස්ත්‍රික්කයේ 174,563 දෙනෙකුට සිනොෆාම් එන්නත පළමු මාත්‍රාව ලබා දී ඇතැයි ද මෙහි දී අනාවරණය විය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද ගම්මාන සංඛ්‍යාව 20 කි. කොටසක් පමණක් හුදකලා කරන ලද ගම්මාන සංඛ්‍යාව 10 කි. පසුගිය අප්‍රේල් 17 වන දා සිට මැයි 18 වන දින දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් අසාදිතයන් 9289 ක් හමු වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් ඒකක 18,228 ක් නිරෝධනයන වන අතර ඔවුන්ට රුපියල් 5000 බැගින් වූ අත්‍යාවශ්‍ය භාණ්ඩ මලු 02 ක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ සදහා වැය කරන මුදල රුපියල් 91,140,000.00 කි. සංචරණ සීමා දැඩිව පවතින කාලසීමාව තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සැපයීම සදහා බලපත්‍ර 177 ක් ද ලබා දී ඇතැයි මෙහි දී අනාවරණය විය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන්ගෙන් 80% කට කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව ලබා දී ඇති බවයි. සෙසු අයට ද ඉතා කඩිනමින් මෙම එන්නත ලබාදීමට අපේක්ෂා කරන බව ඔහු සදහන් කළේය. ඉදිරියේ දී දිවයිනට ලැබෙන එන්නත් වලින් ගම්පහ දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාවය ලබා දෙන්න යැයි තමන් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිණිය ප්‍රමුඛ සෞඛ්‍ය බළධාරීන්ගෙන් ද ඉල්ලූ බව ඇමතිවරයා කීවේය.

එන්නත්කරණ කටයුතු සදහා සහාය දක්වන ලෙස පළත් පාලන ප්‍රධානීන්ට උපදෙස් දුන් ඇමතිවරයා සෞඛ්‍ය බළධාරීන්ට ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දුන්නේය.