ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි වන පරිදි රෝහල් පද්ධතිය ශක්තිමත් කෙරේ...

srilanka healith presanna ranatunga
By Nimal May 18, 2021 08:03 AM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් වසංගතය හමුවේ ඉදිරියේ දී මතුවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමේ කඩිනම් වැඩසටහනක් ඇරඹේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතියේ පවතින අඩුපාඩු හා ගැටළු වලට විසදුම් ලබාදෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතියේ පවතින ගැටළු පිළිබද සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවැත්විණ. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බළධාරීන් හා ප්‍රා දේශීය ලේකම්වරු, පළාත් ප්‍රධානීන් එක් ව සිටියහ. එක් දිස්ත්‍රික් රෝහලකින්, මූලික රෝහල් 04කින්, ප්‍රා දේශීය රෝහල් 09 කින් හා ප්‍රා දේශීය වෛද්‍ය සත්කාර ඒකක 45 කින් ගම්පහ රෝහල් පද්ධතිය සමන්විතයි. ගම්පහ ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නලීන් ආරියරත්න මහතා මෙහි දී පෙන්වා දුන්නේ පවතින තත්ත්වය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් වල කොවිඩ් රෝගීන් ඇතුළත් කර ගැනීමේ ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

අතරමැදි දැඩි සත්කාර ඒකක ඇදන් (HDU BEDS) 125 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් සදහා ලබාදීමට නියමිත බව ද ඔහු කීවේය.ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ඔක්සිජන් නොමැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිදු රෝහලක ඔක්සිජන් හිගයක් මතු වී නොමැති බවයි. කිසිදු රෝහලක ඔක්සිජන් අවශ්‍ය ධාරිතාව ඉක්මවා ගොස් නැතැයි ද ඔහු අවධාරණය කළේය.

ගම්පහ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා සදහන් කළේ වෛද්‍යවරයෙකු විසින් ලියු ඉංග්‍රිසි සටහනක් වෙනත් අයෙකු සිංහලට පරිවර්තනය කර තමන්ට අවශ්‍ය පරිදි මුහුණු පොතට එකතු කිරීම මත මෙම වැරදි ප්‍රචාරය සිදුව ඇති බවයි. බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය සදහන් කළේ මේ වසරේ දි රැපියල් 56,557,458.75 ක ප්‍රතිපාදන ගම්පහ දිස්ත්‍රික් රෝහල නවිකරණය සදහා ලබා දී ඇති බවයි. කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රතිපාදන ලබාදීම කඩිනම් කර ඇතැයි ද ඇය සදහන් කළාය.

රජය හැමවිටම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සදහා ප්‍රමුඛතාව ලබාදෙන බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා රෝහල් බළධාරින් අදාළ අවශ්‍යතාව පිළිබද ඉල්ලීම් ඉදිරිපත් වන්නේනම් ඒවා ඉටු කර දීමට සුදානම් බව ද කීවේය. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය තුළ හදිසි අවශ්‍යතාවයන් පිළිබද වාර්තාවක් ඒ ඒ රෝහල් මගින් දින කීපයක් තුළ ලබාදෙන ලෙසත් බස්නාහිර පළාත් සභාව හා මධ්‍යම රජය මගින් එම අවශ්‍යතා සපුරාදීමට කඩිනමින් කටයුතු කරන බවත් ඇමතිවරයා කීවේය.