රටත් ජනතාවත් ආරක්ෂා කිරීමේ වගකීමට ප්‍රමුඛතාව ....

srilanka politics nimal lansa
By Nimal May 17, 2021 09:15 AM GMT
Report

 - කොවිඩ් - 19 තුන්වෙනි රැල්ල පාලනය මෙන්ම රටේ අනෙකුත් දෛනික කාර්යයන්ද බිදවැටීමකින් තොරව පවත්වාගෙන යමින් රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීම සදහා ජනාධිපතිතුමා කටයුතු කරමින් සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කරයි.

කොවිඩ් 19 වසංගතයෙන් රටේ ජනතාව ආරක්ෂා කිරීමට සිදු කළ හැකි සෑම ක්‍රියාමාර්ගයකටම රජය අවතීර්ණ වී තිබෙනවා. මිනිස් ජීවිත වල වටිනාකම විපක්ෂයට වඩා හොදින් අපිට දැනෙනවා. විපක්ෂය සිදු කරන්නේ සෑම විටම විවේචනය කිරීම පමණයි. විපක්ෂය පාලන බලයේ සිටින කාලයේ මිනිස් ජිවීත ආරක්ෂා කිරීමවත් රටේ සංවර්ධනයවත් සිදු කළේ නැහැ.

ඔවුන්ගේ කාලයේ සිදුවුනේ පාස්කු ප්‍රහාරය සිදුවීම, මහ බැංකුව මංකොල්ල කෑම, දේශපාලන පළි ගැනීම් හා ජාතික ආරක්ෂාව බිද වැටීම වැනි රටේ ජනතාව පීඩාවට පත් වූ සිදුවීම් පමණයි. විපක්ෂය මේ රටේ ආර්ථිකය ඉතාමත් දුර්වල මට්ටමකට ඇද දමා තිබුණා. සෘණ බවට පත් වූ ආර්ථිකයක් වත්මන් ජනාධිපතිතුමා බාර ගත්තේ. එවැනි අවස්ථාවක කොවිඩ් 19 වසංගතයටත් අපට මුහුණ දීමට සිදුවුනා. දැන් වසරකට අධික කාලයක් මෙම අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා.

තවත් කොපමණ කාලයක් මෙහි බලපෑම තිබේවිද කියලා කිසි කෙනෙකුට නිශ්චිතව කියන්න බැහැ. එමනිසා කොවිඩ් පාලනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් රටේ අනෙකුත් කාර්යයන් ද බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරමින් තිබෙනවා. අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ කොවිඩ් 19 පාලනයට. මේක ලෝකය පුරා පැතිර යන වසංගත තත්ත්වයක්. මේ නිසා සෑම රටකම රැකියා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඇතුලු ගැටලු ගණනාවක් මතුවෙලා තියෙනවා. මේකට මුහුණ දෙන්න අපේ රටේ ආර්ථිකයත් ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඕනේ.

විපක්ෂය අපිට භාර දුන්නෙත් වැටුණ ආර්ථිකයක්. මෙයට මුහුණ දීම සදහා ජනාධිපතිතුමා සෞඛ්‍ය විශේෂඥයින් සමග සාකච්ජා කරමින් කොවිඩ් 19 පාලනය සදහා එන්නත්කරණ කටයුතු කඩිනම් කරන්න උපදෙස් දීලා තිබෙනවා. ඒ වගේම සංචරණ සීමා ආදිය පැනවීමට කටයුතු කරලා තිබෙනවා. රටේ බහුතරයක් ජනතාව දැඩි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මේ වසංගතය පාලනයට සහාය දක්වනවා. අපිට මතකයි යුද්ධය වේලාවෙදී අපේ ජනතාව කොපමණ කැපවීමක් සිදු කළා ද කියලා. ඒ වගේම මෙම ව්‍යසන අවස්ථාවේදීත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ජනතාව තම යුතුකම ඉටුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙලට සහය දක්වයි කියලා අපිට විශ්වාසයි.

අද විපක්ෂයට තියෙන්නේ රාජපක්ෂ බියක්. බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගත වුනාම විපක්ෂය විවිධ විවේචන ඉදිරිපත් කරනවා. එතුමා විදෙස්ගත වුනත් අදාළ කාර්ය සාධක බලකායෙන් පැවරී තිබෙන වගකීම් සම්බන්ධීකරණය සිදු කරමින් සිටිනවා. එතුමා සිය කාර්යයන් අවසන් කරගෙන ලංකාවට එනවා. ඒ නිසා විපක්ෂය ඒ පිළිබඳව කලබල විය යුතු නැහැ.

අද විපක්ෂය බලයේ සිටියානම් කොවිඩ් වලින් පමණක් නෙමේ මේ රටේ ජනතාව කුසගින්නේ මියැදෙන තත්ත්වයකට රට පත්වන්නට ඉඩ තිබුනා. විපක්ෂය කියන විදියට අපි රටේ සංවර්ධනය නතර කරන්නේ නැහැ. රටත් ජනතාවත් ආරක්ෂා කර ගනිමින් සංවර්ධන කාර්යයන්ද ඉදිරියට ගෙන යන බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කරයි. -----