ප්ලාස්ටික් හා පොලිතීන්වලින් වෙසක් සැරසිළි භාවිතා නොකරණ ලෙස ඉල්ලීමක්...

srilanka political mahinda amarawera
By Nimal May 17, 2021 03:51 AM GMT
Report

 මෙවර වෙසක් උත්සවයේ දී නිවෙස් හා පරිශ්‍ර වෙසක් සැරසිළි යොදාගනිමින් සිදු කරන අලංකරණයේ දී හැකි තරම් පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කරන ලද සැරසිළී භාවිතා නොකරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වෙසක් පුන් පොහෝ දින විහාරස්ථානවලට වන්දනාව පිණිස යාම සීමා කර නිවාසවලට වී ආමිස ප්‍රතිපත්ති අනුව උතුම් තෙමඟුල් දිනය සමරණ ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. එයට හේතුව නම් කොවිඩ් 19 වසංගත තත්ත්වය රටපුරා ව්‍යාප්ත වන තත්ත්වයක් උද්ගතවී ඇති නිසායි.

අපේ රටේ වාර්ෂිකව භාවිතා කෙරෙන පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන සම්බන්ධව වැය වන මුදල් හා ආනයනය කරන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන පිළීබඳ වාර්තාවක් පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා තිබිණි. මධ්‍යම පරිසර අධිකාරිය හෙළි කරන ලද තොරතුරු අනුව වාර්ෂිකව පොලිතීන් හා ප්ලාස්ටික් ආනයනය සඳහා අප රටෙන් වැය කරන මුදල රුපියල් කෝටි 5800කි. එමෙන්ම වාර්ෂිකව මෙරටට ආනයනය කරන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 177,197කි. නමුත් ප්‍රතිචක්‍රියකරණය කරනු ලබන්නේ ඉන් සියයට 7,1ක් හෙවත් ටොන් 12,636ක් පමණි. ඉතිරි සියයට 92.09 ම පරිසරයට මුදා හරිනු ලබයි.

ප්ලාස්ටික් හා පොලිතීන්වලින් සිදුවන දැවැන්ත පරිසර හානිය වළක්වා ගැනීම සඳහා මෙවර වෙසක් පුන් පොහෝ දිනයේ දී හැකිතරම් ප්ලාස්ටික් හා පොලිතීන් වලින් සකස් කරන ලද සැරසිළි යොදා ගැනීමෙන් වළකින්නැයි අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පරිසරයට ආදරය කළ බුදුරජාණන්වහන්සේ සිහිපත් කරන මෙවන් උතුම් දිනයක පරිසරය සුරැකීමට කටයුතු කිරීම උන්වහන්සේට කරන කෘතගුණ දැක්වීමක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.