රටේ ආර්ථිකයට බලපාන කිසිදු ක්‍රියාදාමයක් කල් දැමීමට රජය සූදානම් නැහැ...

srilanka politics presanna ranatunga
By Nimal May 16, 2021 06:18 AM GMT
Report

 ගෝලීය කොවිඩ් වසංගතය මුවාවෙන් රටේ අනාගතයට ,ආර්ථික වර්ධනයට හේතුවන කිසිදු ව්‍යාපෘතියක් කල් දැමීමට රජය සූදානම් නොමැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මිනුවන්ගොඩ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දි රජයේ නිළධාරීන්ට කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ,කොවිඩ් වසංගතය සාර්ථකව මර්දනය කරමින් සිටින අතරතුර වුව ද පෝට් සිටි ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට රජය උත්සාහ දරන්නේ රටේ අනාගතය සහ ආර්ථිකය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තුවක් සහිත ව බවයි.

චීනයෙන් අපට ලැබුණු එන්නත් ලක්ෂ හයෙන් මේ වෙනකොට ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් එන්නත්කරණය කරලා තිබෙනවා.තවත් ලක්ෂ දෙකක වගේ ප්‍රමාණයක් ඉදිරි දින කිහිපය තුළ එන්නත් කිරීමට කටයුතු කරනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකටම සංචාරණ සීමා පනවා ඇතත් බස්නාහිර පළාතේ සෑම එම්.ඕ. ඒච් කාර්යාලයකම වෛද්‍යවරු යොදාගත් ආකාරයටම එන්නත ලබාදීමේ කටයුතු සාර්ථකව සිදු කරනවා.

ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයකට මේ වෙනකොට පලමු මාත්‍රාව ලබා දී අවසානයි. ඉදිරි සති කිහිපය තුළදී දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා රජය කටයුතු කරමින් සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයට පළමු අදියරේ සයිනොෆාම් එන්නත එක්ලක්ෂ දහදාහකට ආසන්න ප්‍රමාණයක් ලැබුණා. දෙවැනි අදියරේත් එවැනි ප්‍රමාණයක් ලැබීමට නියමිතයි. දැන් මේ වෙනකොට ඇස්ට්‍රා සෙනිකා එන්නත ලක්ෂ හතරකට පමණ එන්නත් කොට තිබෙනවා. මේ ආකාරයෙන් ජනගහනයෙන් සියයට 55කට පමණ එන්නත ඉතා කඩිනමින් ලබාදීමට රජයක් හැටියට අප බලාපොරොත්තු වෙනවා.

ඉදිරි මාස 4 ඇතුළත දී එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට කොවිඩ් කමිටුවේ දී සාකච්ඡා කර තීන්දු කරලා තිබෙනවා. එන්නත ලබා දීමේදී කොවිඩ් කමිටුව හරහා නිසි ක්‍රමවේදයක් ලබාදී තිබෙනවා. මුලින්ම කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රදේශ සහ අවදානම් කලාප යනුවෙන් හඳුනා ගත් ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඊළඟට ජනාධිපති තුමාගේ විශේෂ ඉල්ලීමක් මත රාජ්‍ය සේවයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,ග්‍රාම නිලධාරීන්, ඇතුළු කොවිඩ් මර්දන ව්‍යාපාරය තුළ ග්‍රාමීය කමිටුවේ ජනතාවත් එක්ක ගැටෙන කණ්ඩායම් සහ ගුරුවරුන්ට ලබා දීමට කටයුතු කරනවා.එම ක්‍රියාදාමය ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉතාමත් ම පිළිවෙළකට ක්‍රියාත්මක කරමින් තිබෙනවා .ඒ වගේම ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේත් සියයට පනහකට වැඩි ප්‍රමාණයකට එන්නත ලබාදීමට. ඉදිරි සති හතර පහ ඇතුළත එම කටයුතු අවසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.මේ වෙනකොට සෞඛ්‍ය අංශවල උපරිම ධාරිතාවය යොදවා ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න කටයුතු කර තිබෙනවා.

කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම පිළිබඳව යෝජනාවක් තිබෙනවා. කොවිඩ් කියන්නේ එක පක්ෂයකට සීමා වූ වෛරසයක් නොවේ. ඒ නිසා හැමෝම එකමුතු වෙන්න ඕනේ. නමුත් කනගාටුවට කරුණ නම් අපේ රටේ එහෙම වෙන්නේ නැති එකයි. මරණ සංඛ්‍යාව වැඩිවෙනකොට විපක්ෂය ඇතුළු බොහෝ පිරිස් එය හිනාවට ලක් වන කරුණක් කරගන්නවා. අප විපක්ෂයේ ආගමනය සම්බන්ධයෙන් වැඩි බලාපොරොත්තුවක් තබා ගන්නේ නැති වුණත් ඔවුන් සහයෝගය ලබාදෙනවා නම් ඉතා හොඳ බව කියන්න කැමතියි.

. මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කිරීම නොව එක්ව වැඩ කිරීම බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. කොවිඩ් මර්දන ව්‍යාපාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ මැදිහත් වීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම ප්‍රසිද්ධ මාධ්‍ය තුළ සාකච්ඡා කිරීමට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට පක්ෂයක් වශයෙන් කොවිඩ් මර්දන ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට රෝගීන්ට ඇඳන් ලබාදීම, එන්නත්කරන වැඩපිළිවෙළට සහයෝගය ලබා දීම වැනි කටයුත්තකට මේ අවස්ථාවේදී සහය දෙන්නේ නම් ඉතා වැදගත් වන බවයි.