මහා පරිමාණ ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනමින් ....

srilanka presanna ranatunga airpore
By Nimal May 11, 2021 07:13 AM GMT
Nimal

Nimal

Report

කටුනායක ගුවන් තොටුපළේ මහා පරිමාණ ව්‍යාපෘතිවල ඉදිකිරීම් වේගවත් කර ඒ සදහා පවතින බාධාවන් හදුනාගෙන කඩිනමින් ඊට විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ බළධාරීන්ට උපදෙස් දෙයි.

කටුනායක ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමක දී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. රැස්වීම සංචාරක අමාත්‍යාංශයේ දී ඊයේ (10) පැවැත්විණ.

කටුනායක ගුවන් තොටුපළේ මහා පරිමාණ ව්‍යාපෘති දෙකක් දැන් ක්‍රියාත්මකයි. පැකේජ A ව්‍යාපෘතිය යටතේ ගුවන් තොටුපළේ දෙවන මගී පර්යන්තය ඉදිකිරීම් ආරම්භ කර තිබේ. ඒ සදහා ජපන් රජය ජපන් යෙන් 41,553,891,286 ක මුදලක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා රුපියල් 35,135,843,333 ක මුදලක් ශ්‍රී ලංකා රජය වැය කරනු ලබයි. 2014 වසරේ දි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණ ද පසුගිය යහපාලන ආණ්ඩුව එය ආරම්භ කිරීම දිගින් දිගටම ප්‍රමාද කළ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව නැවත එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2020 වසරේ දීයි.

නව පර්යන්ත ඉදිකිරීමෙන් කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික මගී ධාරිතාව මගීන් මිලියන 15 ක් දක්වා වැඩි වේ. දැනට කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික මගී ධාරිතාව මගීන් මිලියන 06 කි. ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව සිටින්නේ ජපන් ගුවන් තොටුපළේ උපදේශකයන් සහ සීමාසහිත නිපෝන් කොයි සමාගමයි. ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු ලෙස ජපන් තායිසේ සමාගම කටයුතු කරන අතර ජපාන ජාත්‍යන්තර ජයිකා සහයෝගීතා ඒජන්සිය හෙවත් ජයිකා එහි අරමුදල් සපයයි. බහු මහල් රථගාල, නව ගුවන් තොටුපළ විවේකාගාර , ගුවන් මගී දොරටු විවේකාගාර, අන්තර් සම්බන්ධිත බහුමාදිලි ප්‍රවාහන සේවා වැනි පහසුකම් රැසකින් සමන්විත මෙම නව පර්යන්තයේ ඉදිකිරීම් මාස 36 කින් අවසන් කිරීමට නියමිතය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සාකච්ඡාවේ දී අවධාරණය කළේ නියමිත කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් විය යුතු බවයි. දැනටමත් මෙහි ඉදිකිරිම් ප්‍රමාද බවට චෝදනා නැගී ඇති බව පැවසු ඇමතිවරයා කොවිඩ් වසංගතය නිසා රටේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද කිරීමට හෝ නතර කිරීමට ආණ්ඩුව සුදානම් නැතැයි ජපාන කොන්ත්‍රාත්කාර සමාගමට පෙන්වා දුන්නේය. ඒ නිසා ප්‍රමාදය සාධාරණීකරණය සදහා හේතු දක්වමින් නොසිට නියමිත කාල රාමුවට අනුව ව්‍යාපෘතිය අවසන් කිරීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය. සති දෙකකට වරක් ඉදිකිරීම් ප්‍රගතිය තමන්ට වාර්තා කරන ලෙස ද ඇමතිවරයා ගුවන් තොටුපළ බළධාරීන්ට උපදෙස් දුන්නේය.