නියෝග උල්ලංඝනය කළ බහුජාතික සමාගමේ පාරිසරික බලපත් තහනම් .... .

srilanka politics mihinda amarewera
By Nimal May 06, 2021 10:01 AM GMT
Nimal

Nimal

Report

 පොලිතීන් හා ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කිරීමට රජය ගත් තීරණය උල්ලංඝනය කරමින් පරිසර අමාත්‍යාංශයේ හා නීතියේ කණෙන් රිංගා කටයුතු කිරීමට උත්සාහ කළ බහුජාතික සමාගම සම්බන්ධයෙන් තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අද දින (06) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී මාධ්‍ය වේදියෙක් එක්තරා බහුජාතික සමාගමක් විසින් ප්ලාස්ටික් හා පොලිතීන් තහනම නොතකමින් ග්‍රෑම් 24 සැෂේ පැකට් නිෂ්පාදනය කර වෙළෙඳපොළට බෙදා හැරීම සම්බන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධව අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමක් කළේය.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා-එක් සමාගමක් අපේ කණෙන් රිංගා ගොස් මෙන්ම නීතියේ හිල් හා ගුල්වලින් රිංගා ගොස් සැෂේ පැකට් නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධව අපිගත හැකි ඉහළම නීතිමය පියවර ගන්නවා. මම දැනටමත් අදාල අංශවලින් මේ සම්බන්ධව සම්පූර්ණ තොරතුරු ඉල්ලා තිබෙනවා.

ඒ වගේම නීති අංශ සමග සාකච්ඡා කරනවා. ඒ අනුව අපි විසින් මාර්තු 31 සිට ක්‍රියාත්මක කළ පොලිතීන් හා ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කිරීමේ ගැසට් පත්‍රය උල්ලංඝනය කරමින් කටයුතු කළ එම සමාගමේ පරිසර බලපත් තහනම් කිරීමක් දක්වා නීතිය ක්‍රියාත්මක කිරීමට මම පියවර ගන්නවා. ඒ වගේම මට අමාත්‍යවරයා වශයෙන් පැවරී ඇති බලය අනුව මේ සම්බන්ධයෙන් වෙනමම රෙගුලාසි පැනවීමටත් බලය තිබෙනවා. ඒ අනුව ඉදිරි දින දෙක තුළ මම එම රෙගුලාසිවලට අත්සන් තබනවා. මෙම බහුජාතික සමාගමට වෙනත් ප්‍රතිවිපාකවලට පවා මුහුණ දෙන්නට සිදුවේවි.

අපි කිසිසේත්ම බහුජාතික සමාගම්වලට යට වෙන්නේ නැහැ. ඒ වගේම මම දේශීය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අපිට අවශ්‍ය සබන්, දත්බෙහෙත්, ෂැම්පු නිෂ්පාදනය සඳහා යොමුවන ලෙසයි. ඒ සඳහා දේශීය නිෂ්පාදකයින්ට අවශ්‍ය සහන ලබා දෙන්න රජය වශයෙන් අපි සූදානම්.

ඒ වගේම මෙවැනි කටයුතු කරමින් රජය විනාශ කරන්නට හදන බහුජාතික සමාගම්වලට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට අපේ පරිසරය විනාශ කරන්නත් අපි ඉඩ දෙන්නේ නැති බව ප්‍රකාශ කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.