ගංගා සංරක්ෂිත කළාප නම් කිරීමට පරිසර අමාත්‍යාංශයෙන් තීරණයක්...
ගංඉවුරු ආශ්‍රිතව ඇති ඉඩම් අල්ලාගෙන සිටින පිරිස් ඉන් ඉවත් කිර,ගංගාවක සිට අඩුතරමින් මීටර් 150ක් වත් යන තෙක් කිසිදු ඉදි කිරීමක් හෝ වගාවන් සඳහා යොදා ගැනීමට ඉඩ නොසළසන ලෙසත් එවැනි ඉඩම් ගංගා සංරක්ෂිත කළාපය ලෙස නම් කර ගංගාවල සුරක්ෂිතභාවය සඳහා පවරාගැනීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අප රටේ ගංගා පද්ධතිය තුළ ගංගා 103ක් තිබුණත් මෙම ගංගා පද්ධතියෙන් බහුතරයක් මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වන අතර ඉතිරි ඒවා විවිධ ප්‍ර දේශවලින් ආරම්භ වෙයි. එහෙත් අපේ රටේ ගංගා පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා මෙතෙක් ගංගා සංරක්ෂිත කළාප නම් කිරීමක් සිදු වී නැත.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය විසින් දිවයිනේ සියලුම ගංගා ආශ්‍රිතව තොරතුරු එක් රැස් කළ අතර ඒ අනුව පෙනීයන්නේ විවිධ පුද්ගලයින් විසින් ගංගා ද්‍රෝණි විනාශ කිරීමේ නීති විරෝධී කටයුතු වල යෙදෙන බවයි. මේ සම්බන්ධව ක්‍රියාත්මක වන ස්ථාන වීඩියෝ ගත කර ඇති අතර ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන පමණක් 10,700කට වඩා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිරීක්ෂණය කර තිබේ.
එමෙන්ම මෙතෙක් කිසිදු ගංගාවකට ගංගා සංරක්ෂිත කළාප නම් කර නොමැතිවීම නිසා විවිධ පුද්ගලයින් නිවාස, ව්‍යාපාරික ස්ථාන, හා වගාව සඳහා ගංගා සමීපයේ වු ඉඩම් අත්පත් කර ගෙන සිටින බව ද තහවුරු වී තිබේ.මේ නිසා ගංගා ඉවුරු දැඩි හානියට පත්ව ඇති අතර විශාල ජල ප්‍රමාණයක් ගලා එන අවස්ථාවල ඉවුරු කැඩි බිඳී ගොස් මහජන ජීවිත මෙන්ම දේපොළවලට ද හානි පැමිණෙන අවස්ථා වැඩිවෙමින් පවතින බව අනාවරණය විය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබේ. පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන සුරකිමු ගංගා වැඩ පිළිවෙළ යටතේ දිවයිනේ සියලුම ගංගා සඳහා ගංගා සංරක්ෂිත කළාප නම් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. .
එමෙන්ම ගංගාධාරවල පදිංචිව සිටින පුද්ගලයින් විකල්ප ස්ථානවල පදිංචි කරවීමටත් පියවර ගැනේ.එසේ නොකළහොත් දැනට ගංගාධාර අවභාවිතයට ලක්වීම නිසා අපේ රටේ මූලික ජලවහන රටාව වන සමස්ත ගංගා පද්ධතියම වසර කිහිපයකින් විනාශ වී යැමේ අවදානමක් පවතින බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.
එමනිසා ගංගා සංරක්ෂීත කළාප නම් කිරීමේ වැඩ පිළිවෙළක් වහාම ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අප රටේ ගංගා ද්‍රෝණිවල විශාලත්වය වර්ග කි. මී. 10 සිට 10,000 දක්වා වේ. මෙම ගංගා පද්ධතියට අමතරව විශාල දිය උල්පත් පද්ධතියක් ද අප රට සතුව පවතී.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජල උල්පත් 1544 ක්ද මහනුවර දිස්ත්‍රික්කයේ 204 ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 19 ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයේ 210 ක්ද, මාතලේ දිස්ත්‍රික්කයේ 2 ක්ද හඳුනාගෙන තිබේ. මෙම ජලඋල්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ද මෙම සංරක්ෂිත කළාප නම් කිරීම අවශ්‍යව ඇතැයි ද පරිසර අමාත්‍යවරයා පැවසීය.