අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කරුණු 20ක් ඇතුළත්...

srilanka politics mahinda amarawera
By Nimal May 02, 2021 04:43 AM GMT
Report

රටේ තිරසර පරිසරය හා කෘෂිකර්ම සංවර්ධනය සම්බන්ධව දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා නැමැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කරුණු 20ක් ඇතුළත් කර ඇති බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

අපේ රටේ රෝගීන් ඉහළයාමට හේතු වු වසවිෂ සහිත කෘෂිකර්මය වෙනුවට කාබනික කෘෂිකර්ම පිළිවෙත ක්‍රියාත්මක කිරීමට ඉන් යෝජනා කර තිබේ. එමෙන්ම තිරසර පාරිසරික සංවර්ධනය උදෙසා වැඩ කටයුතු ගණනාවක් රජය විසින් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිතුමන්ගේ අභිප්‍රායයිද පරිසර ඇමතිවරයා පැවසුවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා” නැමැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව 2012 සිට මේ රටේ සියලු පරිසර සංවිධාන විසින් ඉල්ලා සිටි පාරිසරික හා කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමක් යැයි පරිසරවේදීහු පැවසූහ.

මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම හා ඒ පිළිබඳ අදහස් යෝජනා ලබා ගැනීම පිණිස පසුගිය සිකුරාදා (30) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසරවේදීහු පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්වූහ.

ඊට පාහිංයගල ආනන්ද සාගර හිමියෝ ඇතුළු පරිසරවේදීහු ගණනාවක් සහභාගි වූහ.

මෙහිදී අදහස් පළ කළ පාහියංගල ආනන්දසාගර හිමියෝ මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අතිවිශිෂ්ට එකක් බව අවධාරණය කර සිටියහ. අපි 2012 අවුරුද්දේ ඉඳන්ම පැවැති ආණ්ඩු සියල්ලෙන්ම ඉල්ලා සිටියේ මේ රටේ කාබනික වගාවට මුල් තැන දෙන්න කියළයි. නමුත් නොමිලේ රසායනික පොහොර ලබා දීම නිසා අද අපේ ගොවි පරපුර ඉවරයි. වකුගඩු රෝගයෙන් මිය යන්නේ හොඳින් වැඩ කළ හැකි පළපුරුදු අපේ රටේ ගොවි පරම්පරාවයි. එමනිසා මේ ගත් පියවර අතිශයින්ම ප්‍රශංසනීය යැයි උන්වහන්සේ කීහ. මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කාබනික වගාව යටතේ අවශ්‍ය කාබනික පොහොර ලබා දීම සඳහා රජය විසින් රුපියල් කෝටි 100ක මුදලක් අයවැයෙන් වෙන් කර ඇතැයි කීය.

අපේ රටේ ගංගා, ඇළදොළ, ලිං, පොකුණු සියල්ලම අද රසායනික පොහොර හා කෘමිනාශක මිශ්‍ර වීම නිසා දූෂණය වෙලා. අපේ රටේ ජලය කොපමණ තිබුනත් මිනිහෙකුට විශ්වාසයෙන් ඉන් ජලය ටිකක් බීමට නොහැකි තරමට අවිශ්වාසය මතුවෙලා තිබෙනවා. උතුරු මැද පළාත ඇතුළු පළාත් ගණනාවක ජලය අවශ්‍ය තරම් තිබුනත් මිනිසුන්ට අවශ්‍ය පානීය ජලය ලබා දීමට ජල පිරිපහදු යන්ත්‍ර ලබා ගැනීමට සිදුවෙලා. පාරවල් දිගට දැන්වීම් පළ කර තිබෙනවා පිරිසිදු පානීය ජලය ලීටරයක් මේ මිල ගණන් යටතේ අලෙවි කරනවා කියළා. අපි කුඹුරේ වැඩ කරළා වතුර පිපාසෙට කුඹුරේ වක්කඩෙන් වතුර බිවු ජාතියක්. නමුත් අද වක්කඩකින් ජලය ටිකක් බොන්න පුලුවන් තත්ත්වයක් නෑ.

ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙම වැඩ පිළීවෙළ වහාම ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ නිසා මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සියලු පරිසර සංවිධාන හා ඒ පිළිබඳ දැනුමක් ඇති විද්වතුන් සමග සාකච්ඡා කර තීන්දු තීරණ ගන්නවා. මම දන්නවා ඔබ සියලු දෙනාම පසුගිය කාලය තුළ පරිසර විනාශයන් සම්බන්ධව මා සමග සාකච්ඡා කළා. අද ඒ සියලු කරුණුවලට විසඳුම් ලබා දෙන්නට අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා අපිට ප්‍රකාශ කළා කවුරු මොනවා කිව්වත් නැවත රසායනික පොහොර ආනයනය කරන්නේ නැහැ කියළා. මේ තීරණය යම් තරමකට විවාදාපන්න වෙන්න පුලුවන්.

නමුත් අවුරුදු දෙක තුනක් යන කොට අපිට කාබනික වගාවට හුරු වෙන්න පුලුවන් වේවි. රසායනික පොහොර භාවිතා කරනවා කියන්නේ ඇබ්බැහිවීමක් විදියටයි මම දකින්නේ. වන අලි හා මිනිස් ගැටුම් ගැටළුව සම්බන්ධව රජයේ ස්ථාවරය කුමක්දැයි මෙහිදී පරිසරවේදීහු අමාත්‍යවරයාගෙන් විමසූහ. මම පරිසර අමාත්‍යවරයා වුනත් මේ විෂය අංශ කිහිපයකට බෙදී ගියා. ඔබ දන්නවා පරිසර සම්බන්ධව මම පසුගිය දිනවල කළේ හුදෙකලා සටනක්. මට සහයෝගය දෙන්නට හිටියේ පරිසරවේදීන් හා මේ රටේ ජනමාධ්‍ය විතරයි. නමුත් අද ජනාධිපතිතුමන් මාත් සමග එක්ව තිබෙනවා. ඒක මට ලොකු ශක්තියක්. අලි මිනිස් ගැටුමට තිත තබන්න ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා.

විල්පත්තුව, හබරණ, විගල්ගම, යාල ප්‍ර දේශ සම්බන්ධව වන අලින්ගේ ගමන් මාර්ග නැත්නම් කොරිඩෝවන් යළි සකස් කිරීම, ඒවායේ පදිංචි සියලු දෙනා ඉන් ඉවත් කර ඔවුන්ට වෙනත් ස්ථානවල පදිංචි කරවීම හා වන අලින් ගමන් කරන මාර්ග දෙපස විදුලි වැටවල් හා අගල් ඉදි කිරීමටත් තීරණය කර තිබෙනවා. මීට අවශ්‍ය මුදල් අයවැය ලේඛනයෙන් වෙන් කර තිබෙනවා. දැනට වන අලින්ට අහිමි කර තිබෙන ඔවුන්ගේ ගමන් මාර්ග හා වාසභූමි යළි ඔවුන්ට ලබා දෙනවා. මේ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නා.

මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් ඉදිරිපත් කර ඇති සියලු කාරණා ක්‍රියාත්මක කිරීමටත්, ඊට සියලු පරිසරවේදීන්ගේ සහයෝගය ලබා දෙන බවත් මෙහිදී පරිසරවේදීහු අමාත්‍යවරයාට පැවසූහ. එමෙන්ම ඔවුන් විසින් ද වහාම අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් සම්බන්ධව කරුණු පැහැදිළි කළේය. විශේෂයෙන් පුද්ගලික අංශය විසින් කිසිදු සොයා බැලීමකින් තොරව ක්‍රියාත්මක කර තිබෙන කුඩා ජලවිදුලි බලාගාර නිසා විශාල පාරිසරික හානියක් සිදුවෙමින් තිබෙන බව ද ඔවුහු පෙන්වා දුන්හ.